ආධ්‍යාත්මය තුළින් ජීවිතය විනිවිදව දැකීම

 "වස්ත්‍රයක් නොමැති බොහෝ මිනිසුන් මම දුටුවෙමි, තවද මිනිසුන් නොමැති බොහෝ වස්ත්‍රයන් ද ඒ අතර මා දුටුවෙමි."

- මවුලානා ජලාලුද්දීන් රූමි 

අධ්‍යාත්මික හා දාර්ශනික සන්දර්භයක් තුළ සූෆි කලාකරුවන්ගේ අදහස්, යමක් එහි බාහිර මුහුණත සහ ද්‍රව්‍යමය ස්වභාවයෙන් ඔබ්බට බැලීමට අපව පොළඹවයි. ඒ අතරම සමාජයීය අපේක්ෂාවන් සහ බාහිර සැරසිලි නම් වූ ස්ථරවලට යටින් මනුෂ්‍යත්වයේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීමට ද ඒවා අපව පොළඹවයි. තවද දෙවිඳුන් හැර උන්වහන්සේගේ සියලු මැවීම් තුළ ඇති අනිත්‍යමය ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරමින් දිනෙන් දින අපව යථාර්ථයක්  තුළ ජීවත් කරවයි. මේ සියල්ල අවබෝධ කර ගැනීම සදහා අපට ආධ්‍යාත්මීය පදනම තුළින් උපදින කලාවන් ද වැදගත් වේ. එය ජීවිතය තුළ තිබිය යුතු අව්‍යාජභාවය, අවංකභාවය සහ පැවැත්මේ සාරය පිළිබඳ මෙනෙහි කිරීම සඳහා අපව දිරිමත් කරයි. 

"ඔවුනතර මා ප්‍රඥාවේ බීජය වැපිරුවෙමි, එය දළු ලා වැඩීමට මාගේම දෑතින්ම මා කටයුතු කළෙමි: මා නෙළාගත් අස්වැන්න මෙයයි - "මම ජලය මෙන් ඔබ වෙත පැමිණියෙමි, සුළඟ මෙන් දිනෙක ඔබෙන් සමුගෙන යන්නෙමි."

- ඕමාර් කයියාම් 

මිනිසාගේ උප්පත්තියේ පටන් ඔහු කලාව සිය කර පින්නාගෙන පැමිණේ. ජීවිතය තුළ ජීවත් වීම තුළින් ඔවුන් එය ඔප දැමීම හෝ යල් පැන යාමට ඉඩ හසර ලබා දේ. ජීවිතය තුළ එය කවුරුන් එය ඔප දමයි ද, ජීවිතය විනිවිදව දැකීමට ඔහු හෝ ඇය නිසැකවම පෙළඹේ. ඒ නිසාම කලාවට, රසවින්දනයට ආදරය කරන මිනිසුන්ගේ සිත් සතන් යම් ආකාරයක ඔවුනටම අවේනික වූ දීප්තියකින් බැබ‌ළේ. කලාවෙන් හෝ  රසවින්දනයෙන් කව්රුන් ඈත් වන්නේ ද, ඔවුන්ගේ ජීවිත සහ පෙර කී අයගේ ජීවිත අතර ඇති වෙනස ඔවුනගේ එදිනෙදා ගෙවන දිවි පෙවත තුළින් පිටතට දර්ශනය වේ. 

මෙලෙස කියවෙන කලාව ආධ්‍යාත්මීය නර්ථනයන්ටම පමණක් සීමා නොවේ. එය ගැයීම, වැයීම වැනි විවිධාකාර සෞන්ධර්‍යාත්මක පැතිකඩයන් අතර විසිරී පැවතිය හැක. නමුත් දෙවියන්ගේ නියම ගැත්තන් එහි සීමාව ද ඉක්‌ම නොයයි. අධ්‍යාත්මය, කලාව, එදිනෙදා ජීවිතයේ කටයුතු අතර ජීවන සමබරතාවයක් ඔහු පවත්වාගෙන යයි. සැබවින්ම අප ආදිතම සුදනන් ගමන් ගත් මැද මාවත යනු එයයි.

ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය සමූහ ගීතිකා වෘන්දයන් අතර ප්‍රචලිතම කණ්ඩායමක් වන Muslim Choral Ensemble විසින් පසුගියදා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පවත්වන ලද 'අන් නූර්' හෙවත් ‘ආලෝකය’ කම් අර්ථයෙන් පවත්වන ලද ඉස්ලාමීය ආධ්‍යාත්මීය සංගීතමය උළෙල ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ කලාවන් සුපෝෂනය කිරීම සඳහා මහඟු මෙහෙවරක නියැලේ. හාදියා ගැලේලි නම් ආධ්‍යාත්මීය ශිල්පීනිය විසින් ආරම්භ කරන ලද මෙම කණ්ඩායම අද වන විට සැලකිය යුතු මට්ටමේ ආධ්‍යාත්මීය සංගීත ශිල්පීන් සංඛ්‍යාවක් සමාජයට දායාද කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව මෙවර පැවති ආධ්‍යාත්මීය සංගීත රාත්‍රිය වර්ණවත් කිරීමට බේරුවල ප්‍රදේශයේ ආධ්‍යාත්මීය සංගීත කටයුතු වල නිරත වන 'හළරා' නම් විචිත්‍රවත් අරාබි ස්ත්‍රෝත ගායනාවන් සිදු කරන ආධ්‍යාත්මීය ගායන ශිල්පීන්ගෙන් සමන්විත කණ්ඩායමක් සමග ද ඔවුන් අත්වැල් බැඳගෙන තිබිණි. 

සර්ව බලධාරී අල්ලාහ් දෙවියන්ගේ ඒකීයත්වය යන මුඛ්‍ය ප්‍රතිෂ්ඨාව මත හිඳ උන්වහන්සේගේ අවසන් ධර්ම දූතයා වූ නායක මුහම්මද් නබි තුමාණන් (ශාන්තිය සහ සමාදානය ඔහුට අත්වේවා) කෙරෙහි මුස්ලිම්වරුන් දක්වන කරුණා සහගත දයාව ආධ්‍යාත්මීය සංගීතයෙන් මුසු කිරීමට ඔවුන් එහිදී සමත් විය. 

ඉස්ලාමීය ආධ්‍යාත්මීය සංගීත කලාව 7වන ශතවර්ෂය වැනි ඈත අතීතයේ පැවති අබ්බාසීය කිලාෆත් පාලන සමයේ පටන් අද දක්‌වා ක්‍රමයෙන් ලොව පුරා පැතිර ගොස් මේ දක්වා එහි විවිධ වැඩිදියුණු කිරීම් සමග ඉදිරියට පැමිණ ඇත. මුස්ලිම්වරුන්ගේ ආධ්‍යාත්මීය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් ඒවා සමාජගත කිරීමට එදා පටන් අද දක්වාම මෙම සංගීත කලාව විශාල මෙහෙවරක් ඉටු කර ඇත.

' ඡවි කල්‍යාණියෙන් වෙලී ඇති අප නිසැකවම තාරකාවන් වන්නෙමු. ඔබ සොයමින් හඹා යන ආලෝකය සෑම විටම එහි එතුළම රැඳී ඇත.'

- මවුලානා ජලාලුද්දීන් රූමි



සටහන  :  මොහමඩ් මිනාස් 


Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)