කාමන් කූත්තු නර්තනය



කාමන් කූත්තු

අතීතයේ ශ්‍රී ලංකාව යටත් කර ගෙන සිටි ඉංග්‍රීසි ජාතිකයන් කඳුකරය ආශ්‍රිතව කළ වතු වගාවන් අතරින් තේ වගාව ඉතා ප්‍රචලිතය. ඔවුන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මෙම වතු වගා ආරම්භ කරන ලද නමුත් ස්වදේශික ජනතාව අතරින් කිසිවෙකු මෙම කර්මාන්තය ආශ්‍රිත සේවයෙහි නිරත වීමට ඉදිරිපත් නොවීම ඔවුන්ට පැන නැගුණු විශාල බාධාවක් විය. ඒ නිසාම දමිළ වතු කම්කරුවන් ඉන්දියාවෙන් රැගෙන ඒමට ඔවුන් කටයුතු කලහ. එලෙස ලංකාවට ගෙන ආ වතු කම්කරු ප්‍රජාව අතර එවක ඉන්දීය ග්‍රාමීය දමිළ ජන කලාවන් ප්‍රගුණ කළ ගායකයින් සහ රංගන ශිල්පීන් වැනි අයද විය. එසේ පැමිණි දමිළ ප්‍රජාව කඳුකරයේ වතු ආශ්‍රිතව සේවය කරන අතර තුරම තම මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද දකුණු ඉන්දියානු ගායනා හා නර්ථන කලාවන් රැක ගත්හ. ඔවුන් ඒවා තමා ජීවත් වූ වතු ජනපද ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමද සිදු කළහ.



කාමන් කූත්තු යනු එවැනි ශ්‍රී ලාංකික කඳුරක දමිළ ජනයා අතර ප්‍රසිද්ධ නර්තන කලාවකි. කාමන්ගේ ඉතිහාසය ඉතා පැරණි ය. වතුකර ජනතාව අතර පැවතෙන ජනප්‍රවාද වලට අනුව කාමන්ට නමස්කාර කිරීමේ සම්ප්‍රදාය කාමන් කූත්තු නැටීම ලෙස හැඳින්වේ. සෑම වසරකම හින්දු දින දර්ශනයේ මාසි මස එනම් පෙබරවාරි මස පොහොය දිනෙන් දින 3 කට පසු පුරා දින 30 ක් මෙම රංගනය ඉදිරිපත් කෙරේ. බොහෝ විට දිලිසෙන සහ වර්ණවත් ඇඳුමකින් කාන්තාවක් සේ වේශ නිරූපණය කර ගන්නා පිරිමියෙකු සහ අලංකාර මෙන්ම විචිත්‍රවත් ඇඳුමකින් ඇයගේ සහකරු ලෙස සැරසුන පුද්ගලයෙකු එම නර්තනයට සහභාගී වේ. එහිදී වාර්ශිකව සීට්ටු දැමීමක් මගින් එම වර්ශයේ රංගනයේ යෙදෙන ශිල්පීන් දෙදෙනාව තෝරා පත්කර ගැනේ.



හින්දු ආගමිකයන්ගේ සිලප්පදිකාරම් නම් පුරාණ ග්‍රන්ථයේ කාලිතෝකම් යන පරිච්ඡේදයේ මෙම රැඟුමට පාදක වන කතා වස්තුව ගැන සඳහන් වේ. කඳුකරයේ වෙසෙන ජනයාගේ ජනශ්‍රැති වලට අනුව ශිව දෙවියන් පාර්වතී දේවිය සමග වූ හිත් පෑරීමකින් හිමාල කඳු වැටියේ ධ්‍යානය වැඩීම උදෙසා ගිය කල කලබල වී ඒ මොහොතේ කුමක් කළ යුතු දැයි නොදත් ඔහුගේ පිරිස මේ පණිවිඩය ඉන්ද්‍රන් හට සැල කර ඇත. පසුව ඉන්ද්‍රන් විසින් මන්මධන් නම් කඩවසම් පුද්ගලයා හට පවසන්නේ ශිව විසින් රකින ධ්‍යානයට බාධා කර බිඳ දමන ලෙසයි. මන්මධන් ද ඉන්ද්‍රගේ අණට කීකරු වී එලෙස ඔහුගේ ධ්‍යානය බිඳීම සිදු කළ පසු කෝප වන ශිව මන්මධන්ව මරා දමයි. එවිට ශිවගේ සුරූපී දියණිය වන රතී තම සැමියා වූ මන්මධන්ගේ වියෝව හේතුවෙන් කනගාටු වන අතර පියා අසලට ගොස් හඬමින් ඇගේ ස්වාමිපුරුෂයාට නැවත ජීවය ලබා දෙන ලෙස ආයාචනය කරයි. දින තුනක් පුරා තම දියණියගේ වැලපීමට කන් යොමන ශිව මන්මධන් හට පසුව ජීවය ලබා දුන් බව විශ්වාස කෙරේ. පසුව තම වැරැද්ද සම්බන්ධයෙන් මන්මධන් ශිවගෙන් සමාව අයැද සිටි බවද පැවසේ. මෙලෙස රතීගේ ස්වාමියාගේ වියෝව, නැවත ජීවය ලැබීම සහ ඔවුන්ගේ ප්‍රේමය සිහි කරමින් මෙම කාමන් රංගනය ඔවුන් වාර්ෂිකව ඉටු කරයි. 




මෙම රැඟුම පවත්වන කාලය තුල තමන්ට හොඳ ස්වාමියෙකු ලැබීමේ අරමුණින් සහ තම ස්වාමියා තමා සමග දිගු කාලයක් සිටිය යුතුයි යන ප්‍රාර්ථනාවත් සමග කාන්තාවන් උපවාසයේ යෙදෙමින් කාලය ගත කරයි. රාත්‍රි හතේ සිට අලුයම් කාලය දක්වා නිවෙසින් නිවසට යමින් එකී ජනයා මෙලෙස කාමන් කූත්තු නර්තනය යෙදේ. කඳුකරවාසීන්ට මේ සමය ඉතා උත්කර්ෂවත් කාලයකි. බෙර යවන්නන් හා රංගනයේ යෙදෙන්නන්ගේ පසු පස යන කුඩා දමිළ කොලුගැටයන්ද බෙර වැයුමේ නාද රටාවන්ට අනුව ප්‍රීතියෙන් රංගනයේ යෙදේ. එදෙස බලා සිටිනා අයෙකුට ප්‍රීතියෙන් සිටින එකී ජනයාගේ මුහුණු වල පිරී ඇති සතුට දැකීමෙන් හැඟෙනුයේ එකී නර්තනයන් හා බෙර වැයුම් එම ජනකායට කියා නිම කළ නොහැකි අපූර්ව ආස්වාදජනක අවස්ථාවක් ගෙන දෙන බවයි.


සටහන

මොහොමඩ් මිනාස්

Comments

Popular posts from this blog

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය