සිංහල ඉස්ලාමීය කාව්‍ය සංග්‍රහය
රමණීය දූපත් රාජ්‍යයක් වූ ශ්‍රී ලංකා ද්වීපයට ඉස්ලාමය නම් ආලෝකමත් මාවත රැගෙන ඒමේ ගෞරවය අරාබිවරුන්ට හිමිය. එය එවක විසූ අරාබි වරුන් විසින් මෙරටට කළ උතුම් වූ මෙහෙවරයන් අතරින් එකකි. ඊට පසු කාලීනව ඉන්දියානු මලබාර් මුසල්මානුවන්ගේ මෙරට ආගමනයත් සමගම මෙරටටම ආවේණික වූ ඉස්ලාමීය සංස්කෘතියක් නිර්මාණය විය. එකී සංස්කෘතිය තුළ දමිළ බස යන්න මුසල්මානුවන්ගේ මව් බස ලෙසින් ප්‍රචලිත විය. නමුත් සිය ආගමික වතාවත් ඉටු කිරීම සඳහා අරාබි බස ද ඔවුන් යොදා ගත්හ. ඒ අතරවාරයේ එවක විසූ ලාංකීය මුසල්මානුවන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ වෙළඳාම සහ ගොවිතැන ආශ්‍රිතව කටයුතු කිරීමේදී සිය රටේ වෙසෙන බහුතරයක් වූ සිහල ජනතාව සමග සන්නිවේදනය කිරීම පිණිස සිංහල භාෂාව ද සුළු වශයෙන් යොදා ගැනිණි. නමුත් පසුකාලීනව ස්වදේශීය මුසල්මානුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්රයෙහි ලද ප්‍රබෝධයත් වෙළඳ සබඳතා වල ප්රතිඵලයන් ලෙසත් සිහල ජනතාව සමග ඇති කරගත් අවාහ විවාහ වල ප්රතිඵලයන් ලෙසත් අද වන විට චතුරව සිංහල බස හසුරවන ලාංකීය මුසල්මානුවන්ගෙන් සමන්විත සමාජයක් මෙරට නිර්මාණය වී තිබේ. එයින් ඇරඹෙන සිහල බස හසුරුවන මුසල්මානුවාගේ ඉස්ලාමීය සාහිත්‍යයට සිංහල සාහිත්‍ය නිර්...