අනාගත පලස්තීන භූමිය


 එක් ජාතියක් පාගා ගෙන තවත් ජාතියකට ශ්‍රේෂ්ඨ ජාතියක් විය නොහැක. එකී න්‍යාය පලස්තීනුවන්ට මෙන්ම යුදෙව්වන්ටද  පොදුය. ඊශ්‍රායලයේ සියෝන්වාදීන් විසින් සිදු කරන පලස්තීන භූමි ආක්‍රමණය අප හෙළා දැකිය යුත්තේ ඒ නිසාමය.

යුදෙව්වන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතු බව සැබෑය. එහෙත් යුදෙව් ජාතිකයන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම යනු පලස්තීනුවන්ගේ නිජබිම් අමු අමුවේ ඔවුන්ගෙන් උදුරාගෙන යුදෙව්වන්ට පැවරීම නොවේ. තවද සියෝන්වාදීන්ගේ මෙම ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම යනු සියෝන්වාදීන්ට එරෙහි වන මුවාවෙන් යුදෙව් සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන ප්‍රහාර දියත් කිරීමද නොවේ.  

මුස්ලිම්වරුන්ගේ ශුද්ධ භූමියක් වූ මස්ජිදුල් අක්සා පරිශ්‍රයට මුස්ලිම්වරුන්ට ඇතුලු වීමට ඉඩ නොදී අක්සා මස්ජිදය අවට ගිනි තබන විට සියෝන්වාදීන් ඊශ්‍රායල ධජ ඉහලට ඔසවමින් උද්දාමයට පත්ව සිටීම පසුගිය දිනවලදී දැකගත හැකි විය. තවද සීයෝන්වාදීන් ගසා තීරයේ අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන ප්‍රහාර දියත් කිරීම ද එයට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය යුදෙව් සිවිල් වැසියන්ගේ ජීවිත ගැන තැකීමක් නොකර යුදෙව්වන්ගේ නගර වලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමද දැක ගත හැකි විය. 

මෙලෙස දෙපාර්ශවය විසින්ම සිවිල් වැසියන්ගේ ජීවිත ගැන තැකීමක් නොකර මෙලෙස කටයුතු කිරීම මගින් පෙනී යන්නේ මේවා හසුරුවන දේශපාලන බලවේගයන්ට අවශ්‍ය වන්නේ තම තමන්ගේ බලය රැකගැනීමට අවශ්‍ය යුධ ශක්තිය බැලු බැලු අත යෙදවීම මිසක අහිංසක සිවිල් ජනතාවගේ පැවැත්ම තහවුරු කිරීම නොවන බවයි. 

යුද්ධයකට නොයා සම්මුතියකින් මෙම ගැටුම විසඳා ගැනීමට ලෝක නායකයන් දෙපාර්ශවයටම උපකාර කළ යුතුයි. නමුත් අද වන විට සිදු වන්නේ ලෝක නායකයන් විසින් පලස්තීන - ඊශ්‍රායල ගැටලුව විසඳීම වෙනුවට එකී ගැටුමට මුවා වී තම තමන්ගේ දේශපාලන උවමනාවන් ඉටු කර ගැනීමයි. 


කලාපයේ බලය තහවුරු කර ගැනීමට පාලකයන් එළෙස කටයුතු කොට හමාර කරන විට පලස්තීන භූමියට කුමකින් කුමක් සිදු වී තිබේ දැයි දෙපාර්ශවයේම වූ ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි විය හැකිය.  

(ඡායාරූපය : ගාසා තීරයට එල්ල කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ සිවිල් ජනතාව පීඩාවට ලක් වී ඇති අයුරු)

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය