අල් හවාරිස්මි


විසිඑක් වන සියවසේ තාක්ෂණයට වශීකෘත වී මොහොතක් ඒ දෙස නෙත් යොමන අයෙකුට "අප මේ ගෙවනුයේ තාක්ෂණයේ උච්චතම අවධිය" යැයි දෝයි සැක සිතන තරමටම අද අප තාක්ෂණයෙන් වෙලා ගෙන ඇත. නමුත් යථාර්ථය එය නොව. මේ විශ්වය පවතින තුරාවටම දැනුමට අවසානයක් නොපවති. මිනිසාගේ ආරම්භයේ පටන් අද දක්වාත් අනාගතය දක්වාත් දැනුමෙහි අවසන් ප්‍රතිඵලය වූ තාක්ෂණයේ ගමන දිනෙන් දින, වසරින් වසර, යුගයෙන් යුගයට දියුණු වෙමින් ඉදිරියටම ගමන් කරයි. අනාගතය යනු වත්මන් දැනුමින් අපට සිතාගත නොහැකි වන තරමටම විශ්මිත වූ ලෝකයක් බව නොඅනුමානය. 

එලෙසම තාක්ෂණයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ මුහම්මද් ඉබ්නු මූසා අල් හවාරිස්මි යනු පර්සියානු ගණිතඥයෙකු, තාරකා විද්‍යාඥයකු සහ ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රඥයෙකු ලෙසින් එවක අබ්බාසි පාලකවරු බැග්ඩෑඩ්හි ස්ථාපිත කල ප්‍රඥාවේ මන්දිරය නම් "බයිතුල් හික්මා" අධ්‍යාපන ආයතනයේ විසූ සුප්‍රසිද්ධ විශාරදයෙකි. ඔහු ක්‍රි ව 780 දී පමණ එවක පර්සියාවේදී මෙලොව එළිය දුටුවේය. අල් හවාරිස්මි එවක බයිතුල් හික්මා ආයතනයේ සේවය කළ විද්වත් මණ්‌ඩලයේ වූ අයෙක්ය. ලොව ප්‍රසිද්ධ අරාබි නිසොල්ලාසය නම් වෘතාන්තයේ සඳහන් එවක අබ්බාසි කලීෆාවරයා වූ හරුන් අල් රෂීද්ගේ පුත්‍රයා වන කලීෆා අල් ම:මුන්ගේ නායකත්වය යටතේ බැග්ඩෑඩ් ස්ථාපනය කල බයිතුල් හික්මා සභාවේ සාමාජිකයෙකු ලෙස සේවය කරමින් සිටියදී අල්-හවාරිස්මි දැනුමින් සමෘද්ධිමත් විය. ප්‍රඥාවේ මන්දිරය නම් වූ මෙම බයිතුල් හික්මා ආයතනය යනු එවක එවක අරාබි ද්වීපයේ විද්‍යාත්මක පර්යේෂණයන් හී නිරත වෙමින් අධ්‍යයනය කටයුතු මෙහෙය වූ මධ්‍යස්ථානයකි. 



ගණිතයේ පැමිණෙන ඇල්ගොරිතම් (වීජ ගණිතය) න්‍යාය ලොවට හඳුන්වා දීමේ මූලිකයා ලෙස අල් හවාරිස්මි ඉතිහාසයේ සඳහන් වේ. (මෙයම ඇතැමුන් මොහුව පරිගණක විද්‍යාවේ පියා ලෙස හැඳින්වීමට හේතුවක් විය).

අල් හවාරිස්මි විසින් සොයා ගත් වීජ ගණිතය සංකල්පය විද්‍යාවන්හී පදනම හා මූලාරම්භය ලෙස සැලකේ. ඔහුගේ ශ්‍රේෂ්ඨතම ගණිතමය කෘතිය වූ "හිසාබ් අල්-ජබ්ර් වා-අල්-මුකාබාලා" (Hisab-al-jabr-wa-al-Muqabala) නම් ග්‍රන්ථයෙහි ඔහු ලොවට හඳුන්වා දුන් වීජ ගණිත සංකල්පයන් අඩංගු විය. දොලොස් වන ශතවර්ෂයේ සියගණනක් වූ සරල වර්ගජ සමීකරන ජ්‍යාමිතික උදාහරණ සමග විශ්ලේෂණය කරමින් ජේරාඩ් සහ රොබට් යන දෙදෙනා විසින් මෙම ග්‍රන්ථය ලතින් භාෂාවට දෙවරක්ම පරිවර්තනය කරන ලදී. තවද එහි දේපල උරුමයන් බෙදීමේ හා ඉඩම් කට්ටි මැනීමේ ක්‍රම පිළිබඳව ද සඳහන් විය. ඒවා හුදෙක් වීජ ගණිත සංකල්ප වලට වඩා එදිනෙදා ගැටලු විසඳීමේ ප්‍රායෝගික ක්‍රම අතරේ වැදගත් ස්ථානයක් ගනී. 

ඔහු තාරකා විද්‍යාව, දින දර්ශන, සූර්යයා හා චන්ද්‍රයා සහ ග්‍රහලෝකවල සත්‍ය පිහිටීම් ගණනය කිරීම්, ත්‍රිකෝණමිතික වගු, ගෝලාකාර තාරකා විද්‍යාව (sperical astronomy), ජ්‍යොතිෂ වගු, සූර්යග්‍රහණ ගණනය කිරීම් සහ සඳෙහි දෘශ්‍යතාව පිළිබඳ "සිජ්-අල්-සින්ද්-හින්ද්" නම් ඔහුගේ තාරකා විද්‍යාත්මක කෘතියක් රචනා කළේය. එහි එවක විසූ වෙනත් විද්‍යාඥයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ද සඳහන් විය. වීජ ගණිතය විෂය මෙන්ම, අරාබි ද්වීපයේ වූ මුල් කාලීන දැනුම පිළිබඳ විස්තර සඳහන් දැනට පවතින පැරණිතම අරාබි කෘතිය එය විය. 



මීට වසර 1200 කට පමණ පෙර රචනා කරන ලද අල් හවාරිස්මිගේ ග්‍රන්ථයේ ඇති මූලධර්ම භාවිතා කොට වර්තමානයේ විවිධ එකතු කිරීම් හා දිගු බෙදීම් සඳහා අද මිනිසුන් ඇල්ගොරිදම් නම් වීජ ගණිතය භාවිතා කරයි. තවද අරාබි ඉලක්කම් බටහිරට හඳුන්වා දීමේ ගෞරවයද අල්-හවාරිස්මි සතු අතර, අරාබි ඉලක්කම් නවය සමග බින්දුව (ශුන්‍ය ලකුණ) භාවිතා කිරීම ද මොහු විසින් ආරම්භ කළේය.

මධ්‍යකාලීන භූගෝල විද්‍යාව සඳහා අල්-හවාරිස්මිගේ දායකත්වය ද වැදගත් ය. ඔහු ටොලමිගේ භූගෝල විද්‍යාව පිළිබඳ පර්යේෂණ ක්‍රමානුකූල කර නිවැරදි කළේය. ඒ සඳහා ඔහු ඔහුගේ "පෘථිවියේ හැඩය" නම් "සූරත් අල් අර්ද්" නම් ඔහුගේම මුල් සොයාගැනීම් ආශ්‍රයෙන් සිදු කළහ. ඓතිහාසික වාර්තා වලට අනුව අල් හවාරිස්මි විසින් ඒවා සිතියම් මගින් විස්තර කර තිබිණි. නමුත් අවාසනාවකට එම සිතියම් සංරක්ෂණය කර නොමැති නමුත් පැරණි විස්තර ආශ්‍රයෙන් නූතන විද්වතුන්ට ඒවා ප්‍රතිනිර්මාණය කිරීමට හැකි වී තිබේ. එවක ඔහු “හඳුනාගත් ලෝකය” යන නමින් ඒ වකවානුවේ ඔවුන් හඳුනාගෙන තිබූ භූමි ප්‍රදේශ ආශ්‍රයෙන් සිතියමක් නිර්මාණය කිරීම සඳහා ඔහු භූගෝල විද්‍යාඥයින් 70 දෙනෙකු මෙහෙයවමින් ඔවුන්ව අධීක්ෂණය කළේය. පසුකාලීනව ලතින් භාෂා පරිවර්තන ආශ්‍රයෙන් යුරෝපයේ ඔහුගේ කෘති ප්‍රසිද්ධියට පත් වූ අතර ඔහුගේ බලපෑම බටහිර විද්‍යාවේ දියුණුවට මහත් පිටිවහලක් විය. 



අල් හවාරිස්මි විසින් ඉන්දියානු පූර්වගාමීන්ගෙන් උරුම වූ දැනුම ආශ්‍රයෙන් හිරු තැටිය පිළිබඳ වූ න්‍යාය ඉදිරිපත් කර හිරු තැටිය ඉදි කර වැඩිදියුණු කිරීම් කිහිපයක් සිදු කරන ලදී. මෙම උපකරණය මගින් විවිධ ගණනය කිරීම් කිරීම සඳහා ගතවන කාලය සැලකිය යුතු ලෙස කෙටි කෙටිකර ගැනීම සඳහා ඔහු විශේෂිත වගුද සකස් කර ඇති බව සඳහන් වේ. ඔහුගේ හිරු තැටිය කාලය ගණනය පහසු කළ අතර පෘථිවියේ ඕනෑම තැනක සිට කාලය ගණනය සඳහා එය භාවිතා කිරීමට යෝග්‍ය විය. එතැන් පටන් මුස්ලිම්වරුන් දිනකට පස් වතාවක් සිදු කරන යාඥා මෙහෙයන් හී වේලාවන් හඳුනාගැනීමට එවක මස්ජිදයන්හී (ඉස්ලාමීය දේවස්ථාන වල) හිරු තැටි ස්ථාපිතව තිබිණි. තවද ඇලිඩේඩ් නම් අයකු සමඟ ඒකාබද්ධව කෝණික නිරීක්ෂණන් සඳහා "වස්තුවක රේඛීය උස" නිර්ණය කිරීම සඳහා භාවිතා කරන "THE SHADOW SQUARE" නම් මෙවලමක් නවවන සියවසේදී අල් හවාරිස්මි විසින් සොයා ගන්නා ලදී.



ග්‍රීක, ඉන්දියානු සහ වෙනත් මූලාශ්‍ර වල ඔහුගේ ක්ෂේත්‍රයට අවශ්‍ය කරන දැනුම රැස් කිරීමට ද ඔහු බොහෝ කාර්යයන් ඉටු කළේය. අල්-හවාරිස්මි විසින් යුදෙව් දින දර්ශනයට අදාළව තාරකා විද්‍යාව වැනි මාතෘකා යටතේ සුළු කෘති ගණනාවක් ලියා ඇත.

මුහම්මද් ඉබ්න් මූසා අල් හවාරිස්මි ක්‍රි.ව 850 මෙලොව හැරගිය අතර ඉස්ලාමීය ස්වර්ණමය යුගයේ විද්‍යාත්මක ක්ෂේත්‍රයට ඔහු ලබා දුන් දායකත්වය අති මහත්ය.

- මිනාස් -
ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය. 
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය.

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය