'අදාන්' නම් කැඳවුම හා වර්තමානය



අල්ලාහු අක්බර්.. අල්ලාහු අක්බර්....//
අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහ්... //

ඔබ මුස්ලිම් මස්ජිදයක් අසල වාසය කරන්නෙකු නම් ඔබට මෙම අරාබි වදනින් යුතු කැඳවුම දිනකට පස් වතාවක් ඇසෙනවා යනු නොඅනුමානයි. බොහෝ විට මෙම හඬ මුස්ලිමෙකු නොවන ඔබට කරදරයක් මෙන් හැඟෙනු ඇත. ඇතැම් විටෙක මෙය ඔබගේ දින චරියාව ගත කිරීමෙහිලා විටෙක එලාම් ඔරලෝසුවක් මෙන් උපකාරී වූ අවස්ථාවක් ද වී තිබිය හැක. ඒ කෙසේ නමුත් කෙදිනක හෝ මෙලෙස අරාබි වදනින් හඬ නැගෙනා මෙම කැඳවුමේ අරුත සහ අරමුණ කුමක්දැයි ඔබ සොයා බැලුවේද? 

අදාන් යන අරාබි වචනය ශක්තිය, නැමඳුම සඳහා කැඳවුම යන සිංහල අරුත ගෙන දෙයි. මුස්ලිම්වරුන් සර්ව බලධාරී අල්ලාහ් උදෙසා සිදු කරන දෛනික පස් වේල් නැමදුම (සලාතය) මස්ජිදයක් තුල සාමූහික වශයෙන් රැස් වී ඉටු කිරීම සඳහා නායක මුහම්මද් නබි තුමාණන් විසින් මෙම ජනතා කැඳවුම අනුමත කොට ආරම්භ කරන ලදී. මෙහි ඉතිහාසය නම් එවක මදීනා ඉස්ලාමීය ජනරජයේ නායක මුහම්මද් නබි තුමාණන් සාමූහික වශයෙන් රැස් වී අල්ලාහ් උදෙසා නැමදුම් (සලාතය) ඉටු කිරීම සඳහා ජනතාවට ඇරයුම් කළ යුත්තේ කෙසේදැයි තම සගයන් සමග කළ සාකච්ඡාවකදී පසුකාලීන ඉස්ලාමීය ජනරජයේ දෙවැනි කලීෆා වරයා වූ උමර් ඉබ්නු හත්තාබ් තුමාගේ අදහසකට අනුව මෙම කැඳවුම ආරම්භ කළ බවයි. තවත් හදීස් මූලාශ්‍රයක සඳහන් වන්නේ ඉහත සාකච්ඡාව අතර තුර සයිද්(රලි) තුමාණන් දුටු සිහිනයක් ආශ්‍රයෙන් එලඹුන යෝජනාව සඳහා වහී නම් දේව පණිවිඩයක් මගින් අනුමතියක් ලැබූ පසු මෙම කැඳවුම නබිතුමා තුමණ් අනුමත කළ බවයි. ඉස්ලාමීය සංස්කෘතිය හා තදින් බැඳුන මේ සලාතය උදෙසා වූ මෙම කැඳවුම ක්‍රිස්තු වර්ෂ ගණනාවකටත් උඩ අරාබිකරයේ බිහි වූ කිලාෆත් පාලන තන්ත්‍රයන් බිහිවීම කෙරෙහි ඉතා තදින්ම බලපෑවේය. මන්ද මෙම කැඳවුම හුදෙක් නැමදුමටම අදාල නොවී මානව සමූහයාට සත්‍යයේ මාර්ගය වූ ඉස්ලාමය වෙත කරන ආරාධනයක් වූ බැවිනි. මෙලෙස අදානයේ තවත් එක් අරමුණක් පිළිබඳව විස්තර කරන ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරු සී. ජී. වීරමන්ත්‍රී විසින් 'ඉස්ලාමීය නීති සංග්‍රහය' නම් වූ ඔහුගේ කෘතියක සඳහන් කරනුයේ ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය සඳහා මෙම අදාන් නම් කැඳවුමේ රැව් පිළිරැව් දීම හේතුවක් වූ බවයි. ඉස්ලාමීය පාලනයේ දිග් විජය හා ව්‍යාප්තිය කඩුවෙන් නොව නිසි අවබෝධයෙන් සත්‍යය පිලිගත් ජනතාවගේ ඉස්ලාමය වැලඳගැනීම් මගින්ම සිදු වූවා යන්නටද එය කදිම නිදසුනකි. 

ඔහුගේ එම කියමන මැනවින් වටහා ගැනීමට නම් අප ඊලඟට කළ යුත්තේ මෙම කැඳවුමෙහි සිංහල අරුත අප අධ්‍යයනය කිරීමයි. 

අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්.. //
(අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) 

අශ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහ්.. //
(අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් අයෙකු නැති බවට සාක්ෂි දරමි) 

අශ්හදු අන්න මුහම්මදර් රසූලුලල්හ්.. //
(මුහම්මද් යනු අල්ලාහ්ගේ දූතයා බවට සාක්ෂි දරමි) 

හයියාලස් සලාහ්.. //
(සලාතය සඳහා පැමිණෙන්න) 

හයියාලල් ෆලාහ්.. //
(ජයග්‍රහණය කරා පැමිණෙන්න) 

අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්.. 
(අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) 

ලා ඉලාහ ඉල්ලල්ලාහ්... 
(අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් අයෙකු නොමැත) 

https://youtu.be/YYEi6FSkaFI

මීට අමතරව "සුබහු" නම් අලුයම් කාලයේ නැමදුමට ජනයා කැඳවන විට පමණක් "හයියාලල් ෆලාහ්" නම් "ජයග්‍රහණය කරා පැමිණෙන්න" නම් වදන පැවසූ පසු අමතරව "අස්සලාතු හයිරුම් මිනන් නවූම්" නම් වදන පවසයි. එහි තේරුම නම් "නින්දට වඩා සලාතය උතුම්" යන්නයි. 

(බොහෝ අයෙකු නිදනා එම අවස්ථාවේ ඔබ අලුයම වේලාසනින් අවදිව දෙවියන් කරා නමදින ලෙසට එමගින් පැවසේ.) 

තමා සොයාගත් සත්‍යය, තමන් අනුගමනය කරන යහපත අන් අයටද පෙන්වා දී ඔවුන්ද යහ මගට එකතු කර ගැනීම මුස්ලිම්වරයාගේ පරම යුතුකම වේ. එමගින් ලෝකයට සිදුවන යහපත ඉමහත්ය. ශුද්ධවූ අල් කුර්ආනයෙහි ඒ පිළිබඳව මෙසේ සඳහන්ය. 

ٱدۡعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلۡحِكۡمَةِ وَٱلۡمَوۡعِظَةِ ٱلۡحَسَنَةِۖ وَجَٰدِلۡهُم بِٱلَّتِي هِيَ أَحۡسَنُۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ

"නුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතුව හා යහපත් උපදෙස් ද සමගින් නුඹ (අන් අයට) ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් වදනින් ඔවුන් සමග නුඹ තර්ක කරනු." 

ඒ අනුව විටෙක සලාතය සඳහා නියමිත වේලාව දැනුවත් කිරීමටත් තවත් විටෙක අති උතුම් ඉස්ලාමීය මාර්ගය වෙතට ගෞරවණීය අයුරින් ජනතාව කැඳවීම යන අරමුණු පෙරදැරි කරගත් මුස්ලිම් වරයෙකුට මෙතරම් වැදගත් වූ මෙම අදාන් කැඳවුම ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ඉටු කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීමයි. අතීතයේ වූ මුතුන්මිත්තන් ඒ කාර්යය නිසියාකාරව ඉටු කිරීම නිසා අදාන් කැඳවුම කෙරෙහි අන්‍ය සමාජයන්ගෙන් කිසිදු බාධාවක් නොවීය. නමුත් වර්තමානයේ ඇතැමුන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් සුලුතර අවස්ථාවන් වලදී මෙම අදාන් කැඳවුම කෙරෙහි අන්‍ය සමාජයන්ගෙන් විරෝධතා ගොනු වූ අවස්ථා පවති. ඒවා ගැන විපරම් කර බැලීමේදී මතු වූ කාරණා අතර සැලකිය යුතු කරුණක් වූයේ "පීඩාකාරී අධික ශබ්දය පරිසරයට මුදා හැරීමෙන් සිදුවන අපහසුතා" ඇතිවීම් වේ. ඒ අනුව නූතන මුස්ලිම් සමාජය මෙම අදාන් කැඳවීමේ කාර්යයන් ඉටු කිරීමේදී වගකීම් පැහැර හැරීමක් සිදු නොවන අයුරින් කටයුතු කිරීමට තමන්ට විශාල වගකීමක් තිබෙන බව තරයේ වටහා ගත යුතුය. එබැවින් අදාන් කැඳවුම කරන සෑම විටම අදානයේ අරමුණ අවබෝධ කර ගනිමින් පිලිගත් නීතිගත ශබ්ද පරිමාණයකට අනුගතව සියල්ලන්ගේ සවනට සැනසුමක් ගෙන දෙන අයුරින් මිහිරි හඬින් එම කැඳවුම කළ යුතුය. එය බහුවිධ සමාජයක මුස්ලිම් හා මුස්ලිම් නොවන සියලු දෙනාගේ යහ පැවැත්ම කෙරෙහි වැදගත් වේ. ඒ අතරම මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන් ද පිලිගත් ක්‍රමවේදයන්ට අනුව සිදු කරනා අදාන් කැඳවුමට විරුද්ධ නොවිය යුතුයි. මුස්ලිම් නොවන යම් අයෙකුට "මෙතරම් දියුණු තාක්ෂණයක් ඇති වර්තමානයේ මුස්ලිම් වරයෙකුට සලාතය සඳහා වේලාව දැන ගැනීමට අදානය හැර වෙනත් විකල්පයක් නැති දැයි" ප්‍රශ්න කළ හැක. නමුත් අදාන් කැඳවීමේ අරමුණු මොනවාදැයි නිසියාකාරව වටහාගැනීම එම ගැටලුවට පිළිතුරු සෙවීමේදී උපකාරී වේ. ඒ සියල්ලක්ට වඩා අදානය යනු පුරාණයේ පටන් ඉස්ලාමීය සංස්කෘතිය හා තදින් බැඳුණු සංස්කෘතික හා ආගමිකමය අංගයක් බව අප සැවොම පිළිගත යුතුය. බහුවිධ සමාජයක සියලු ජන කොටස් වල සංස්කෘතික අගයන්, විශ්වාසයන් හා ඇදහිලි වලට ගරු කිරීම මහත්මා ගති පැවතුම් ඇති මිනිසෙකුගේ ලක්ෂණයකි. ඒ නිසාම මුස්ලිම් හා මුස්ලිම් නොවන සියලු දෙනාම අන්‍යන්ගේ අනන්‍යතාවයට හා නිදහසට හානියක් නොවන අයුරින් සෑම විටම කටයුතු කිරීම සමාජයේ අනාගත සුබ සිද්ධිය උදෙසා ඉමහත් දායකත්වයක් සපයයි.




✍️: මොහමඩ් මිනාස් 






Comments

Post a Comment

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය