ආන්දෝලනාත්මක කාරණයකට තුඩු දුන් ඉස්ලාමීය බැංකු කරණය ගැන බිඳක්..




මොකක්ද මේ ඉස්ලාමීය බැංකුව?

මුස්ලිම්වරුන් යනු වෙළෙඳ ක්ෂේත්‍රයේ එදා මෙදා තුර සිට සමීපව කටයුතු කරන ප්‍රජාවක්. වෙළඳාම කියන දේ ඒ උදවියගේ රුධිරය සමග මිශ්‍ර උන දෙයක් හා සමානව වෙළඳාම කෙරෙහි ඔවුන්ට තිබෙන්නේ නොබිඳෙන සුලු සමීප සබදතාවයකි. එයට හේතු වන තවත් කාරණයක් තිබේ. එඒ මන්ද යත් ඉස්ලාමීය දහම තුල මුස්ලිම්වරුන්ට පොලිය තහනම් කොට ඒ වෙනුවට වෙළහෙලඳාම් කොට ලාභ ලැබීම අනුමත කොට තිබීමයි. එයට හේතු ලෙස ඒ දහමේ සඳහන් වෙන්නේ පොලිය යනු අසාධාරණ ඉපැයීමක් බවත් එයින් මානව සමාජය තුල අසාමාන්‍ය ආර්ථික ධන වර්ධනයන් ඇති කරමින් සමාජය පංති වලට බෙදීමට එය මූලිකවම බලපාන බවයි. නූතන ආර්ථික රටාවන් දෙස බලනකළ පොලිය යන සාධකය ආර්ථික රටාවන්ට සිදුකර ඇති බලපෑම ඔබට හොඳින් දැක බලා ගත හැකිය. ඒ නිසාම මුස්ලිම්වරුන්ට පොලිය තහනම් කොට එහි නිරතවන්නාව අතිශය පිලිකුලට ලක් කර ඇත. ගතවූ දශක ගණනාවක සිට ලෝක වෙළෙඳ පොළේ සීග්‍ර ලෙස වෙනස් වීම් වලට ලක් විය. 
තාක්ශණයේ දියුණුවත් සමගම ලෝක වෙළෙඳපොලෙහි සිදු වන නවීන වෙනස්‌කම් වලට සරිලන සේ හැඩ ගැසීමට මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රාජ්‍යයන්ට ද සිදු විය. එහිදී ඔවුන්ට ලාභය ලෙස පොලිය මූලික කරගත් බැංකු සමග නිරන්තරයෙන් ගනුදෙනු කිරීමට සිදු වූ අතර එය තම ඉස්ලාමීය මූල්‍ය සිද්ධාන්ත වලට නොගැලපීම නිසා ඔවුන් පොලිය භාවිතා නොවන අයුරින් තමාගේම බැංකුක්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු කළහ. 
මෙලෙස 1974 දී ඉස්ලාමීය සංවර්ධන බැංකුව ලෙසින් පොලියෙන් තොර ඉස්ලාමීය මූල්‍ය ක්‍රම වලින් ලාභය උපදින ලෝකයේ ප්‍රථම ඉස්ලාමීය බැංකුව පිහිටුවන ලදී. එයින් ඇරඹි ඉස්ලාමීය මූල්‍ය ක්‍රම ප්‍රමුඛ බැංකු අද ලෝක වෙළෙඳපොලෙහි සැලකියයුතු ස්ථානයක් අත් කර ගෙන ඇත. තවද ලෝක බැංකුව අධීක්ෂණය යටතේ The World Bank Global Islamic Finance Development Center (GIFDC) නමින් ඉස්ලාමීය මූල්‍ය කටයුතු මෙහෙයවන සහ ඒ ආශ්‍රිත පර්යේෂණ කරන ඒකකයක් පිහිටුවා ඇත. 
තවද ලෝකයක් පිලිගත් AAOIFI සහ IASB නමින් ගිණුම්කරණය තත්ව සහතිකකරණයක්ද (Accounting Standards) මෙම ක්‍ෂේත්‍රයට පවතින තරමට මෙම ක්ෂේත්‍රය වර්ධනය වී ඇත. 

මොනවාද මේ ඉස්ලාමීය මූල්‍ය ක්‍රම? 

ඉස්ලාමීය මූල්‍ය ක්‍රම යනු නායක මුහම්මද් තුමාණන්ගේ අවදියේ සමාජය තුල දැක ගත හැකිව තිබූ වෙළෙඳ ක්‍රමයන් වේ. එතුමන් පොලිය පිලිකුලට ලක් කරමින් සාධාරණව ලාභය උපදින වෙළඳාම අගය කලහ. උදාහරණ ලෙස ප්‍රධාන ඉස්ලාමීය මූල්‍ය ක්‍රම කිහිපයක් සඳහන් කළහොත් 

*මුරාබහා ක්‍රමය (Murabaha) 
භාණ්ඩය ගත් මිල ද සඳහන් කොට එය අලෙවි කිරීමේදි අය කිරීමට නියමිත ලාභයද මිලදී ගන්නාට ප්‍රකාශ කොට විකිණීම. 

*මුසව්වමා ක්‍රමය (Musawwama) 
යම් භාණ්ඩයක් මිලට ගෙන එයට ලාභයක් එක් කරමින් අලෙවි කිරීම (සාමාන්‍ය වෙළෙඳාම) 

*මුදාරබා ක්‍රමය (Mudharaba) 
එක් පාර්ශවයක් ප්‍රාග්ධනය යොදවමින් තවත් පාර්ශ්වයක් ව්‍යාපාරය මෙහෙයවීම. 

*මුශාරකා ක්‍රමය (හවුල් වෙළෙඳාම) 
කිහිප දෙනෙකු එකතුවී විශාල ප්‍රාග්ධනයක් යොදවා ව්‍යාපාරයක් ඇරභඹීම. 

*සලම් (අත්තිකාරම් ගෙවීම) 
භාණ්ඩය ලබා ගැනීමට පෙර අත්තිකාරම් මුදල් ගෙවා භාණ්‌ඩ වෙන් කර ගැනීම

*ඉස්තිස්නා (කොන්ත්‍රාත් ගැනීම) 
යම් භාණ්ඩයක් හෝ සේවයක් ලබා දීමේ අරමුණින් කොන්ත්‍රාත් පදනම මත මුදල් ගැනීම. 

*ඉජාරා (කුලීයට දීම) 
කුලී පදනම මත භාණ්‌ඩ හා සේවා ලබා දීම

(මේ ආකාරයට සහ මේවා සමග බැඳුන තවත් මූල්‍ය ක්‍රම ඇත. උදාහරණ ලෙස "Diminishing Musharaka" වැනි ඉස්ලාමීය රාමුව තුල දියුණු කළ මූල්‍ය ක්‍රමවේ. ඒවා පිළිබඳ විස්තර වෙනම ලිපියකින් ඉදිරියට පළ කරමු) 

පොලියක් අය නොකර බැංකුවකට කටයුතු කළ හැකිද? 

බැංකුවක් පවත්වාගෙන යාමට පොලී ආදායම අත්‍යවශ්‍යය නොවන බව සනාථ කිරීමට හොඳම නිදසුන නම් ඉස්ලාමීය බැංකු ක්‍රමයක් ලෝකය තුළ පිහිටුවා තිබීමයි. මේ ආකාරයට ඉස්ලාමීය බැංකු ලාබ ලබන ක්‍රමය සරලව පැවසුවහොත් ඔවුන් එය මෙහෙයවනුයේ පාරිභෝගිකයන්ගෙන් විශාල අරමුදලක් රැස් කර ගනිමින් ප්‍රාග්ධනයක් පිහිටුවා ඒවා විවිධාකාර ව්‍යාපාර වලට ආයෝජනය කිරීමෙනි. මේ ආකාරයට විවිධාකාර නම් වලින් සැකසූ මූල්‍ය ක්‍රම ඉස්ලාමීය රාමුවකට අනුව පොලිය මිශ්‍ර නොවන සේ වග බලා ගනිමින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ආයෝජනය කර බැංකුව ලාභ ලබයි. පසුල ලද ලාභයෙන් කොටසක් මුදල් තැම්පත් කල තැම්පත්ලාභීන්ට ගෙවයි. සාමාන්‍යය බැංකුවක නම් සිදු වනුයේ තැම්පත්ලාභීන්ගෙන් රැස් කළ මුදල් විවිධාකාර නම් වලින් යුතු ණය ක්‍රම ඔස්සේ වෙනත් පුද්ගලයන්ට ණයට දී ලද පොලී ආදායමින් යම් ප්‍රතිශතයක් තැම්පත්ලාභීන්ට ගෙවීමයි. 
මේ ආකාරයටම සාමාන්‍ය බැංකුවක් පුද්ගල ණය දෙන අයුරින් ඉස්ලාමීය බැංකු ද ණය ලබා දෙන්නේ දැයි ඔබට පැණයක් මතු විය හැක. එහිදී ලබා දිය හැකි සෘජු පිලිතුර නම් 'නැත'යන්නයි. ඔබට ඉස්ලාමීය බැංකුවක ආධාරයෙන් ව්‍යපරයක් ආරම්භ කිරීමට අවැසි නම් ඔබ මුලින්ම කළ යුත්තේ ඔබ ව්‍යාපාර සැලසුම බැංකුවට ඉදිරිපත් කිරීමයි. පසුව බැංකුව විසින් ඔබ ව්‍යාපාරය සඳහා තැම්පතුලාභීන්ගේ මුදලින් මුදල් ආයෝජනයක් කරයි. පසුව එය ආයෝජනය කළ මුදල හා එම මුදල් වෙනුවෙන් බැංකුවට ලැබිය යුතු ලාභය නැවත ගෙවීමට සැකසූ ගෙවුම් ක්‍රමයක් බැංකුව විසින් ඔබට සපයයි. ඒ අනුව ලද ලාභය බැංකුව සහ තැම්පතුලාභීන් අතර ගිවිසුම්ගත ප්‍රතිශතයකට අනුව බෙදී යයි. මේ ආකාරයට විවිධාකාර ඉස්ලාමීය බැංකු ඉස්ලාමීය මූල්‍ය රාමුව තුල (පොලියෙන් තොර) සිට කටයුතු කරමින් විවිධ සේවා විවිධ නම් වලින් තම පාරිභෝගික ප්‍රජාවට ලැබීමට සලස්වයි. 

ඉස්ලාමීය බැංකු උපයන ලාභයට කුමක්ද වෙන්නේ? 

ශ්‍රි ලංකාවේ බැංකු කටයුතු පාලනය වන 1988 අංක 30 දරණ බැංකු කටයුතු පිළිබද පණත ඉස්ලාමීය බැංකු පහසුකම් වලටද ඉඩ සලසමින් සංශෝධනය වන්නේ 2005 දෙසැම්බර් මාසයේ දහ වැනිදාය. ඒ ආකාරයට අමානා බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම ඉස්ලාමීය බැංකු මෙහෙයුම් ආරම්භ කළහ. ශ්‍රී ලංකාවේ නීතිගත ඉස්ලාමීය බැංකු තමන් ලබන ලාභ ශ්‍රි ලංකාවේ ව්‍යවස්‌ථාපිත මූල්‍ය නීතියට අනුව රටට ලැබිය යුතු ආදායම් බදු අය කල පසු තැම්පත්කරුවන් හා බැංකුව අතර බෙදී යයි. ලංකාව තුල ඉස්ලාමීය බැංකු තමන්ට රිසි සේ ආරම්භ කරමින් රිසි සේ කටයුතු කිරීමට අවකාශයක් නැත. අන් වාණිජ බැංකු සේ ඉස්ලාමීය බැංකු ද ශ්‍රි ලංකා මහ බැංකුව මගින් නියාමනය වේ.

ඉස්ලාමීය බැංකු අන්‍යාගමිකයන්ට තහනම් ද? 

ඉස්ලාමීය බැංකු වල 'ඉස්ලාමීය' යන නාමය හේතුවෙන් මෙය මුස්ලිම්වරුන්ට පමණක් වෙන් වූ බැංකු ක්‍රමයක් ලෙස ඇතැම් උදවිය අර්ථ දක්වයි. නමුත් සත්‍යය එය නොවේ. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකුවක ගිණුමක් අරඹන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකූට එහි වූ ඕනෑම මූල්‍ය සේවාවන් ලැබිය හැක. වර්තමානයේදීද මුස්ලිම් නොවන ඕනතරම් උදවිය ඉස්ලාමීය බැංකු වල තම ගිණුම් පවත්වාගෙන යමින් තම ව්‍යාපාර කටයුතු සාර්ථකව මෙහෙයවමින් කටයුතු කරයි. 

ඉස්ලාමීය බැංකු වලට ආයෝජනය කරන්නේ මුස්ලිම්වරුන් පමණද? 

එය සාවද්‍ය මතයකි. වර්තමාන කොළඹ කොටස් වෙළෙඳ පොළ තුල ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු වල විශාල කොටස් නිකුතු මුස්ලිම් නොවන පිරිස් සතුව පවතියි. ඉස්ලාමීය බැංකු තම මෙහෙයුම් වලින් ලබන ලාභයන් තම කොටස් හිමියන් සියලු දෙනා අතර බෙදී යන නිසා ඉස්ලාමීය බැංකුව ලද ලාභය මුස්ලිම්වරුන් අතර පමණක් බෙදී යන දුර්මතය ඉවත් වේ. නූතනයේ පවා මුස්ලිම් නොවන්නන් ඉස්ලාමීය බැංකුවකට තම මුදල් ආයෝජනය කරමින් ලාභ ලබයි. 

මුස්ලිම්වරුන්ට ඇයි ඉස්ලාමීය බැංකුවක්? 

ඉහත සඳහන් කළ අයුරින් මුස්ලිම්වරුන්ට ඕනෑම ගණුදෙනුවකදි පොලිය අකැප වේ. ඒ වෙනුවට ඔවුන්ට ව්‍යාපාර වලින් ලබන ලාභයන් දහමින් අනුමත වේ. දහමට අනුව දිවි ගෙවන ඕනෑම ජන කොටසක් තම ජීවිතයේ සියලු කටයුතු දහමට අනුව ඉටු කරමින් දිවි ගෙවයි. ඒ ආකාරයෙන්ම මූල්‍ය කටයුතුවලදී මුස්ලිම්වරුන්ට ගැලපෙන අයුරින් වූ මුල්‍ය පද්ධතීන් මුස්ලිම්වරුන් විසින් සකසා ගෙන ඇත. එයින් තවත් ජන කොටසකට කිසිදු හානියක් ගෙන නොදේ. වෙනසකට සිදු වනුයේ ඔවුන් පොලිය ආශ්‍රිත ගණුදෙනු සිදුකරන විට මොවුන් ලාභය මුල් කර ගත් ගණුදෙනු ක්‍රම වල යෙදීම පමණි. සියලු ආකාරයේ බැංකු ස්ථාපිතව තිබීම මගින් ස්වකීය කැමැත්තට අනුව තමන් කැමති අයුරින් කැමති බැංකු ක්‍රමයක ආයෝජනය කිරීමේ අයිතිය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අවස්ථාවක් හිමි වේ. 

ඉස්ලාමීය බැංකුවක් 'ඉස්ලාමීය' යන නාමයෙන් තොරව ආරම්භ කළ නොහැකි ද? 

හැකිය. ඉස්ලාමීය මූල්‍ය රාමුවක් යටතේ පවත්වාගෙන යන බැංකුවක් ඉස්ලාමීය බැංකුව නමින් හඳූන්වාදීම අත්‍යාවශ්‍ය කරුණක් නොවේ. නමුත් බැංකු කරුවන් විසින් තරඟකාරී ව්‍යාපාර ලෝකය තුල මුස්ලිම්වරුන්ගේ තැම්පතු තම බැංකු වලට ලඟා කර ගැනීමේ අරමුණින් "ඉස්ලාමීය බැංකුව" යන නාමය ව්‍යපාරය ප්‍රවර්ධනය කර ගැනීමට යොදා ගනී. ශ්‍රී ලංකාවේ ඇතැම් බලපත්‍රලාභි වානිජ බැංකුද (පොලිය මුල් කර ගත් බැංකු ද) තම ව්‍යාපාර දියුණු කර ගැනීමට පොලියෙන් වෙන් වූ ඉස්ලාමීය බැංකු ඒකක (Islamic Windows) පවත්වාගෙන යයි. ඒවාගේ අරමුණ වනුයේ පොලිය භාවිතා කිරීමට අකමැති අයවලුන් සඳහා බැංකු මූල්‍ය පහසුකම් සැලසීම විනා අන් කිසිවක් නොවේ. 


✍️ M.N.M.Minaz
BA (Special ) Islamic Banking and Finance (R) 
South Eastern University of Sri Lanka 



Comments

Post a Comment

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය