සීලාත් සටන් කලාව

 



'සීලත්' යනු මැලේ ලෝකය පුරා මුල් බැසගත් ආත්මාරක්ෂාව සඳහා බිහිවූ සටන් කලාවකි. මෙකී සාම්ප්‍රදායික මැලේ සටන් කලාවේ ආරම්භය පුරාණ මැලේ ලෝකයේ විසූ මානවයාගේ වූ ආත්මාරක්ෂාව, දඩයම් ක්‍රම සහ හමුදා පුහුණුව වැනි අවශ්‍යතාවයන් මත නිර්මාණය වී ඇත.  යුද්ධ වලදී සටන් කිරීම සඳහා රණශූරයින් පුහුණු කිරීමේදී ශාරීරික සටන් සහ ආයුධ පුහුණුව වැදගත් වේ.



 මීට වසර 2000 කට පෙර මැලේ ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම විවිධ මැලේ ගෝත්‍රිකයන් අතර මෙම සටන්කලාව වර්ධනය වූ බව විශ්වාස කෙරේ. මෙම සටන් කලාවට ආවේණික මුල් සටන් ශෛලීන් කිඹුලන්, කොටියන් සහ රාජාලියාගේ චලනයන් අනුකරණය කරයි. මානව චලන, සොබාදහම සහ සතුන්ගේ චලනයන්ගෙන් අනුකරණය කර සැදුම්ලත් සීලත් ආත්මාරක්ෂක සටන් කලාවේ බොහෝ සටන් අංග තිබේ. නිදසුනක් වශයෙන්, සීලත් සටන් කලාවට අයත් "සීලත් හරිමවු" නම් අංගයේ සෞන්දර්යාත්මක මෙන්ම රිද්මයානුකූල චලනයන් ඇතුළත් කොටියෙකුගේ ආත්මාරක්ෂාව සඳහා වූ ප්‍රහාරයන් අනුකරණය කරයි.


 මැලේසියාවට පමණක් ආවේණික සීලත් සටන් අංග 150 කට වඩා ඇති අතර ඒවායේ නම් සතුන් සහ ශාක වැනි ස්වාභාවික මූල වලින් නිර්මාණය වී තිබීම අපූරුය.  අග්නිදිග ආසියාවේ වූ සශ්‍රීක වනාන්තර ආශ්‍රිත ජීවත් වූ මැලේ ගෝත්‍රික ප්‍රජාව වනාන්තරය සමග ඇති කර ගත් සුවිශේෂී සබඳතාව ඉන් මනාව කියවේ. එසේ ජීවත් වූ ජනයා පසු කාලීනව තනා ගත් රාජධානි වල යුද්ධ හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල ආරක්ෂාවට මෙම යුද්ධ කලාව, ආයුධ සහ සටන් කලා කුසලතා වර්ධනය කිරීමට හේතු විය. එසේ පුරාණ ඉන්දුනීසියාවේ ලංගාසුකා රාජධානියේ (Langkasuka Kingdom) මුල් අවධියේ සිටම සීලත් නම් වූ මෙම ශාරීරික හා අධ්‍යාත්මික සටන් පුහුණුවීම් ආරම්භ වී ඇති අතර සාම්ප්‍රදායික මැලේ ඇඳුම, සීලත් සංගීත භාණ්ඩ සහ සිරිත් විරිත් එහිදී මෙම සටන්කලාවට අන්තර්ගත වී ඇත.  





නූතන බෘනායි, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය වැනි මැලේ සංස්කෘතික බලපෑමක් ඇති රටවල මෙම ශෛලියේ වූ සටන් ශෛලීන් හැඳින්වීමට ද සීලත් යන යෙදුම භාවිතා වේ.  මුලදී, මැලේ සීලත් යුධ භටයින් යුක්තිය උදෙසා වූ අවස්ථාවන්හිදී  උදාර ලෙස සටන් කළ වීර සටන්කාමීන් ලෙස සැලකුවත් වර්තමානයේ වෙසෙන සටන් කරුවන් හුදෙක් සිය වෘත්තිය උදෙසා සටන් කලාව ප්‍රගුණ කරයි.  සාමාන්‍යයෙන් මෙම සීලත් සටන් වල පුහුණු සැසි සවස් වරුවේ හෝ රාත්‍රියේදී පුහුණුකරු සහ ‘ජුරුකාකා’ යන අය විසින්  විවෘත අවකාශයක සිට මෙහෙයවනු ලබයි. වර්තමානයේ මෙම සටන් කලාව විශාල සංඛ්‍යාවකට පුහුණු කර පෝෂණය කර ඇති අතර අග්නිදිග ආසියාවේ විවිධ කලාපවල වැඩි වැඩියෙන් එහි පුහුණු මධ්‍යස්ථාන පිහිටුවා ඇත.  මෙහි සීග්‍ර ව්‍යාප්තියත් සමඟම මෙය පුහුණු සටන් කලාවකට සීමා නොවී එය සීලත් රංග කලාවක් බවටද පත්ව ඇත. කලාපීය වශයෙන්, සීලාත් සටන් කලාව පාලනය කිරීමට බෘනායි හි PERSIB (National Pencak Silat Federation of Brunei Darussalam) (බෘනායි දරුස්සලාම්හි ජාතික පෙන්කාක් සීලාත් සම්මේලනය), මැලේසියාවේ PESAKA (National Silat Federation of Malaysia) (මැලේසියාවේ ජාතික සීලාත් සම්මේලනය) සහ සිංගප්පූරුවේ PERSISI (Singapore Silat Federation)  (සිංගප්පූරු සීලාත් සම්මේලනය) කටයුතු කරයි.  මෙම පාලක මණ්ඩල, IPSI (Indonesian Pencak Silat Association) (ඉන්දුනීසියානු පෙන්කාක් සීලාත් සංගමය) සමඟ එක්ව කටයුතු කරන අතර ජාත්‍යන්තර පෙන්කාක් සිලත් සම්මේලනයේ International Pencak Silat Federation (PERSILAT) ආරම්භක සාමාජිකයන් ද වේ.


- මොහොමඩ් මිනාස් -



Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය