ඕමාර් ඛයියාම්

 



"ගත කරන මේ මොහොත සතුටින් ගත කරන්න. මන්දයත් මේ මොහොත යනු ඔබ ජීවිතයයි."

                                

                                    - ඕමාර් ඛයියාම් - 


ජීවිතය, ආධ්‍යාත්මය සහ තර්කනය සරල ලෙස කවියකින් නිරූපණය කිරීමෙහිලා ඔහු අති දක්ෂ කවියෙකි. නමින් ඕමාර් ඛයියාම් වූ ඔහු පර්සියානු කවියෙකු, ගණිතඥයෙකු හා තාරකා විද්‍යාඥයෙකු ලෙසින් ප්‍රසිද්ධය. ඔහු විසූ වකවානුවේ ඛයියාම් නාමය ඇසුන සැනින් ඔහු ප්‍රසිද්ධ වූයේ විද්‍යාඥයෙකු ලෙස ඔහු තුල වූ දක්ෂතා නිසාය. ජ්‍යාමිතිය, වීජ ගණිතය සහ ගණිතයේ වෙනත් ක්ෂේත්‍රයන්හි දියුණුව සඳහා ඛයියාම්ගේ දායකත්වය සුවිසල්ය. ඔහු තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළේ එවක පිලිගත් විශ්වයේ පෘථිවි කේන්ද්‍රීය න්‍යාය මූලික වශයෙන් දෝෂ සහිත බව ඔප්පු කිරීමෙනි. විද්‍යා ක්ෂේත්‍රය සඳහා වූ ඛයියාම්ගේ දායකත්වය පසුකාලීනව බටහිර දේශයන්ගේ විද්‍යාත්මක පුනරුදයට විශාල වශයෙන් දායකත්වයක් සැපයීය. 


නයිසාපූර් ප්‍රදේශයේ ශිල්පීන්ගේ පවුලක උපත ලබා ඇතැයි විශ්වාස කරන ඛයියාම් සිය ළමා කාලය බල්හි නගරයේ ගත කළ අතර, එවකට වූ සුප්‍රසිද්ධ විද්වතෙකු වූ ෂෙයික් මුහම්මද් මන්සුරි නම් ඇදුරුතුමන් යටතේ එහි අධ්‍යාපනය ලැබීය. පසුව ඛයියාම් නයිසාපූර්හි විසූ ඉමාම් මුවෆ්ෆාක් යටතේ අධ්‍යාපනය ලැබූ අතර ඔහු එවක කලාපයේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයෙකු ලෙස සලකා ඇත. මෙහි වූ විශේෂය නම් තවත් සුවිශේෂී සිසුන් දෙදෙනෙකුද එකී ගුරුවරයා යටතේ ඛයියාම් සමග ඉගෙනීමේ කටයුතු කිරීමයි. මෙයින් එක් අයෙකු වූයේ පසුකාලීන පර්සියානු අධිරාජ්‍යයේ පාලකයන් දෙදෙනෙකුගේ දේශපාලන උපදේශකයෙකු බවට පත්වූ නිසාම්-උල්-මුල්ක් ය. අනෙක් තැනැත්තා හසන්-ඊ-සබා ය. ඔහු ද පසුකාලීන ප්‍රාදේශීය නායකයකු විය.


එවක මෙම ප්‍රවීණ ඉමාම්වරයා යටතේ අධ්‍යාපනය ලැබූ ඕනෑම තරුණයෙකුට ගෞරවයක් ලැබෙනු ඇතැයි එම සමාජය විශ්වාස කලහ. අධ්‍යාපනය ලබන අවදියේ සිටම මිතුරන් බවට පත් වූ ඛයියාම් ප්‍රමුඛ මෙම සිසුන් තිදෙනා එකිනෙකා මත පොරොන්දු වූයේ ඔවුන්ගෙන් කවරෙකුට හෝ වාසනාවක් උදාවහොත් ඔහු එය අනෙක් දෙදෙනා සමඟද සමානව බෙදා ගන්නා බවයි. පැතූ ලෙසම පසුකාලීනව නිසාම්-උල්-මුල්ක් රාජ්‍යය පාලනය කල පාලකයෙකුගේ දේශපාලන උපදේශකයෙකු බවට පත් වූ පසු හසන්-ඊ-සබා සහ ඕමාර් ඛයියාම් යන දෙදෙනා ඔහු වෙත ගොස් කුඩා කල තමන් ගිවිසගත් පරිදි ඔහු උදාකරගත් මෙම වාසනාවෙන් කොටසක් තමන් අතර බෙදා දෙන ලෙස ඉල්ලා සිටියහ.


එහිදී ඛයියාම් තනතුරක් හෝ කීර්තියක් ඉල්ලා නොසිට, ඉතා නිහතමානීව ඉල්ලා සිටියේ හුදෙක් ජීවත් වීමට, විද්‍යාව හැදෑරීමට හා යාච්ඤා කිරීමට සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙසයි. තවද ඊට අමතරව නයිසාපූර්හි භාණ්ඩාගාරයෙන් ඔහුට වාර්ෂිකව රන් මිත්කල් 1,200 ක විශ්‍රාම වැටුපක් ලබා දෙන ලදී. ඔහු තම ජීවිත කාලය පුරාම මෙම විශ්‍රාම වැටුප තුලින් ජීවත් විය.


ගණිතඥයෙකු ලෙස ඛයියාම් සිය ජීවිත කාලය තුළ ප්‍රසිද්ධියක් උසුලයි. ක්‍රි ව 1070 දී වීජ ගණිතය පිළිබඳ ඔහුගේම වූ විශිෂ්ට කෘතියක් ලිවීය. ඛයියාම් තාරකා විද්‍යාඥයෙකු ලෙස ද ප්‍රසිද්ධය. 1073 දී සෙල්ජුක් රාජවංශයේ සුල්තාන්වරයෙකු වූ මලික්-ෂා විසින් නිරීක්ෂණාගාරයක් ඉදිකිරීමට ඛයියාම් ඇතුළු විවිධ කීර්තිමත් විද්‍යාඥයින්ට ආරාධනා කළේය.  


එකල සියලු දෙනා විශ්වාස කළ පරිදි විශ්වය පෘථිවිය වටා ගමන් නොකරන බව ඛයියාම් විසින් පැහැදිලි කරමින් ඔප්පු කර තිබේ. කාමරයේ වටකුරු බිත්ති වටා ඉටිපන්දම් දැල්වූ තරු, ප්‍රස්ථාරවල භ්‍රමණය වන වේදිකාවක් සහ සරල සැකැස්මන් ගොඩනඟා ගැනීමෙන්, පෘථිවිය එහි අක්ෂය වටා භ්‍රමණය වන බව පෙන්වමින් එය තහවුරු කර පෙන්වූ ඔහු රාත්‍රි කාලය පුරා විවිධ තාරකා මණ්ඩල නැරඹීමට කාලය වෙන් කලහ. 


ඒ කෙසේවෙතත් අද වන විට ඛයියාම් ප්‍රසිද්ධියක් උසුලනුයේ දක්ෂ කවියෙකු ලෙසින් වන අතර විශේෂයෙන් 19 වන සියවසේ ඉංග්‍රීසි කවියෙකු වන එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ් (Edward Fitzgerald) විසින් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරන ලද ඕමාර් ඛයියාම්ගේ "රුබයියාත්" නම් විශිෂ්ඨ කාව්‍ය සංග්‍රහය සඳහා ය. "ආබා" නම් වූ විශේෂිත රිද්ම ක්‍රමයකට නැඹුරුව රචිත රුබයියාට් කාව්‍ය සංග්‍රහය ඛයියාම්ගේ කාව්‍යකරණයේදී යොදා ගත් භාෂාවේ සුන්දරත්වය මැනවින් පිලිබිඹු කරයි. තවද රුබියාත් සංග්‍රහයේ සංක්ෂිප්තය සුන්දරත්වයට පමණක් සීමා නොවන අතරම එය රසිකයන්ට ලබා දෙන ස්ථිර වූ ඇදහිල්ලහි වැදගත්කම සහ සදාචාරය යන සිතිවිලි ගැඹුරුබව සංකීර්ණව එළිදක්වා ඇත.


දක්ෂ විද්‍යාඥයෙකු මෙන්ම ද භක්තිමත් මුස්ලිම්වරයෙකු ලෙසද සැලකෙන ඛයියාම් සිය කාව්‍යකරණයේදී තාර්කිකත්වය සහ දහම අතර වූ සමබරතාවය රැක ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීය. ඔහුගේ වියෝවෙන් පසු සහස්‍රයකට ආසන්න කාලයක් තෙක් ඔහු පිළිබඳව ලෝකයා නොදැන සිටියද ඛයියාම් නාමය අදවන විට මැද පෙරදිග විසූ ශ්‍රේෂ්ඨ කවියෙකු ලෙසින් ලෝපුරා වෙසෙන කාව්‍යය රසිකයන් අතර ප්‍රසිද්ධය. 


 ඒ අනුව ඛයියාම් අද ඔහුගේ විද්‍යාත්මක ජයග්‍රහණ සඳහා පමණක් නොව ඔහුගේ සාහිත්‍ය කෘති සඳහා ද ප්‍රසිද්ධය. ඔහු කාව්‍ය පද දහසක් පමණ ලියා ඇති බව විශ්වාස කෙරේ. ඉංග්‍රීසි කතා කරන ලෝකය තුළ, ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ් (1809-1883) විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කල ඕමාර් ඛයියාම්ගේ රුබියයාට් සඳහා ය.


✍️මොහමඩ් මිනාස් 

ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය