තහ්තීබ් සටන් කලාව

 



තාක්ෂණයේ දියුණුව පැතිරී නොගිය කේෂ්ත්‍රයක් අද ලෝකයේ සොයා ගත නොහැකි තරම්ය. ඒ ආකාරයට සටන් කලාව තුලටද තාක්ෂණයේ ආගමන සිදුවීම තුළින් නූතන අවධිය ගත් කල හුදු ශරීරය ආශ්‍රිතව සිදු කරන සටන් ක්‍රම වලට වඩා ආයුධ මත පදනම් වූ සටන් කලාවන් ප්‍රමුඛත්වයක් ගනී. මේ ආකාරයට පුරාණ අවධියේ ලොව පුරා ප්‍රචලිත සටන් කලාවන් අතුරින් මැදපෙරදිග කලාපයට ආවේණික වූ සටන් කලාවක් වේ නම් ඒ "තහ්තීබ්" සටන් කලාවයි. 




එවක ඊජිප්තුවෙන් ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන තහ්තීබ් නම් සටන් කලාව පුරාණ අරාබිකරයේ ප්‍රසිද්ධ සටන් කලාවක් වුවද අද වන විට එය තහ්තීබ් සටන් ආකෘතියකට නිර්මාණය වූ ජන නැටුමකට සීමා වී ඇත. ආරම්භක අවධියේ සැරයටියක් උපයෝගී කරගෙන වේගවත් ප්‍රහාර වලින් සමන්විත වී ඇති මෙම සටන් කලාව එවක යුධ පුහුණු වල ප්‍රධාන අංගයක් ලෙස පැවතී ඇත.  



වත්මන් අවධියේ දක්නට ලැබෙන මෙම තහ්තීබ් නැටුම්වල එකී සටන් පුහුණු අංග කිහිපයක් දැක ගත හැකිය. නමුත් එහිදී කඩුව වඩාත් සුලභ ආයුධයක් ලෙස යොදාගෙන තිබීමට හේතු වී ඇතැයි සැලකෙනුයේ කඩුව යනු අරාබි දේශයන් වලට ආවේණික වූ සංස්කෘතික අංගයක් ව තිබූ බැවිනි.





මීට අමතරව සාම්ප්‍රදායික අරාබි ලෝකයේ දුනු ශිල්පය සහ අශ්වාරෝහක කලාව ද හමුදා පුහුණුවේ පොදු අංගයක් විය. තවද මෙසපොතේමියාව, පර්සියාව වැනි පුරාණ නැගෙනහිර සංස්කෘතීන් අධ්‍යයනය කිරීමේදී බොහෝ විට එම කෞතුක වස්තු මත නිරූපණය කර ඇති සැරයටි සහ කඩු භාවිතා කරන නැටුම් වල චිත්‍ර දක්නට ලැබේ. ඉස්ලාමයේ නැගීමෙන් පසුද පැවති එම ජන නැටුම් වල අන්තර්ගත වූයේ එකී පුරාණ මූලයන්ද යන්නත් එම පුරාණ මූල අරාබි සංස්කෘතියට විශාල බලපෑමක් ඇති කළේදැයි කීමට අපහසුය. කෙසේ වෙතත් තහ්තීබ් සටන් කලාවේ ආරම්භය නම් අරාබි පාලනයට පෙර ඇරඹි බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. 



මේවාට අමතරව මල්ලව පොර සටන් කලාව මැද පෙරදිග හමුදා පුහුණුව සඳහා භාවිතා කර ඇත. තවද "යාලී ගුරේශ්" නම් තුර්කියට ආවේණික තෙල් මල්ලවපොරය සටන් කලාව ද "ෆුරූෂියා" නම් අශ්වාරෝහක කලාව ද ඔටෝමන් කිලාෆත් පාලන සමයේ කලාපය තුල ප්‍රචලිත වී ඇත.


✍️ මොහොමඩ් මිනාස් 

ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය 

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය 


තහ්තීබ් නර්තන 

https://youtu.be/cQdBc6Z_qFY




Comments

Post a Comment

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය