නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)




මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්

ඈත පිටිසර අරාබි අර්ධ ද්වීපයේ පිහිටි මක්කා නුවර ජාහිලියියා නම් එවක අඳුර රජ කළ යුගයේ අයුක්තිය රජ කළ මතින් මත් වී දූ කෙලියේ යෙදුන, දුරාචාරයෙන් සහ පොලිය මුල් කර ගත් ආර්ථික රටාවක ජීවිකාව ගෙන ගිය, වයිරය මුසු ගොත්‍රයන් අතර වූ දරුණු ගැටුම් උත්සන්න වෙමින් තිබූ සමූහයක් විසූ අවධියේ තවත් එක් දිනයක් එලෙස උදා විය. නමින් 'මුහම්මද්' වූ ඔහු අඳුරෙන් ආලෝකය කරා මුලු ලෝකයම පරිවර්තනය කරනු වස් ආනාගතය සඳහා වූ එකම ගැලවුම්කරුවකු සේ අබ්දුල්ලා සහ ආමිනා යන දෙදෙනාට දාව මක්කා නුවරදී උපත ලැබුවේය. 

කුරෛෂ් ගෝත්‍රයට උරුමකම් කියමින් මෙලොව එළිය දුටු ඒ උතුම් පුත්‍ර රත්නය උපදින විටම පියාණන් අහිමි දරුවකු සේ සිය මව වූ ආමිනාගේ තුරුලේ තනි වූ අතරම උපත ලද වහාම එවක අරාබියාවේ පැවති සිරිතට අනුව සිය කුළුඳුල් දරුවා කිරිදී පෝෂණය කරනු පිණිස ගම්බද කිරි මවක් වූ හලීමා නම් වූ කාන්තාව වෙත පත් කලේය. සිය හයවන වියේදී තම එකම පුතු ද මෙලොව හැර දමා නික්ම යමින් ආමිනා නම් වූ ඔහුගේ මවගේ වියෝව සිදු විය. පසුව සිය මුත්තනුවන් වූ අබ්දුල් මුත්තලිබ්ගේ භාරකාරත්වය යටතේ හැදී වැඩුන ඔහු කුඩා කල සිටම සිය මුහම්මද් යන නාමයේ පරිසමාප්තාර්ථයෙන් ම කරුණාවන්ත යහපත් ගතිගුණයන්ගෙන් සමන්විත දරුවකු විය. 

කුඩා වියේ පටන් බොරුව සහ වංචාව යන දුර්ගුණයන්ගෙන් තොර වූ මුහම්මද්ගේ මහඟු ගති ගුණ වලට ගරු කළ වැසියන් ඔහු 'අල්-අමීන්' හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් හැඳිනවීය. සිය දෙමාපියන්ගේ අභාවයත් සමගම කුඩා කල සිට අනාථයෙකු වූ බැවින් නිසි අධ්‍යාපනයක් නොලද ඔහුට ලිවීමත් කියවීමත් නොහැකි විය. කුඩා වියේ පටන් එළුවන් ඇති කරමින් දිවි ගෙවූ ඔහු තරුණ වියේදී සිය මහප්පා වූ අබූ තාලිබ් සමගින් සිරියාවේ වෙළහෙලඳාම් යෙදී ඇත. ඔහුගේ වෙලඳාමේ දැක්වූ සාධාරණත්වය සහ දක්ෂතාවය අගය කළ වැන්දඹු කාන්තාවක් වූ හතලිස් වන වියේ පසුවූ කදිජා නම් ධනවත් කාන්තාව විසිපස් වන වියේ පසු වූ ඔහු විවාහ කර ගැනුමට කැමැත්ත පළ කල අතරම එකී විවාහයෙන් ඔහුට ඈ දාව එක් පිරිමි දරුවෙකුත් ගැහැණු දරුවන් සිව් දෙනෙකුගේත් පියෙකු වීමට හැකි විය. නමුදු මෙකී පිරිමි දරුවා කුඩා අවධියේදීම මෙලොව හැර ගියේය. 

එවක පැවති පිලිම වන්දනාව සහ මිථ්‍යාදෘෂ්ටික මෙන්ම අවිධිමත් යැදුම් ක්‍රම සහ බිලී පූජා පිළිබඳ නොපැහැදුණු ඔහු ඒ පිළිබඳ කණස්සල්ලෙන් ක්‍රි ව 610 දී පමණ 'හිරා' නම් ගුහාවක භාවනායෝගීව කාලය ගත කලහ. දිනක් එහිදී ජිබ්‍රීල් නම් දෙවිඳුන්ගේ සුරදූතයා පැමිණ අල්ලාහ්ගේ දූතයෙකු ලෙස තමන් පත් කල පණිවිඩය දැනුම් දීමත් එතැන් පටන් ඔහුට ශුද්ධ වූ අල් කුර්ආනයෙහි පහල වීමත් සිදු විය. එලෙස ඔහුගේ දිවියේ විශේෂතම අවධිය උදා විය. එවක පටන් නායක මුහම්මද් තුමාණන් නබීත්වයේ වගකීම භාරගෙන කටයුතු කල අතරම මුල් කාලයේ තමාට ලද නව දහම පිළිබඳ හෙළිදරව්ව ප්‍රසිද්ධ නොකර තම සමීපතමයන් හට පමණක් හෙලිදරව් කලහ. 

ඒ අනුව පළමුව ඉස්ලාම් දහම වැළඳ ගැනීම සඳහා කාන්තාවක ඉදිරිපත් විය. ඈ නම් ඔහුගේ ආදරණීය බිරිඳ කදීජා විය. ඒ අතරම ඔහුගේ කල්‍යාණ මිත්‍රයකු වූ අබු බක්කර් තුමාණන් ද තවත් අනුගාමිකයන් කිහිප දෙනෙකු එක්රැස් කර ගනිමින් කුඩා කණ්ඩායමක් සකස් කර ගැනීමට ඔහු සමත් විය. නමුත් එහි විසූ බොහෝ ජනයා පිලිම වන්දනාවේ නිරත වීමත් නායක මුහම්මද් තුමාණන් පිලිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීමත් නිසා බොහොමයක් දෙනා ඔහුව ප්‍රතික්ෂේප කලහ. තවද ඒ හේතුවෙන් ඔහුට විශාල තාඩන පීඩන එල්ල විය. ඔහුගේ මුලු පවුලටම සම්බාධක පනවා මිටියාවතක හුදකලා කලහ. ගෝත්‍රික නායකයන්ගේ විරෝධය දිනෙන් දින දැඩි විය. නමුත් ඔහු සහ ඔහුගේ අනුගාමිකයන්ගේ සිත් සතන් තුළ අල්ලාහ් පිළිබඳ විශ්වාසයේ අඩුවක් නම් නොවීය. දිනෙන් දින එය ඉහල ගිය අතර එහි කිසිදු අඩුවක් නොවීය. ඒත් සමගම ඔහු වටා එක් රැස් වන පිරිස දිනෙන් දින වැඩි විය. එය කුරෙයිෂි වරුන්ට ඉවසුම් නැති විය. 

දිනෙන් දින ඉහළ යන තාඩන පීඩන හමුවේ මුහම්මද් සහ ඔහුගේ අනුගාමිකයින් මක්කා නුවර සිට මදීනා නගරය කරා සම්ප්‍රාප්ත විය. එහි විසූ ජනයා ඔහුව හරසරින් පිළිගනු ලැබූ අතර සියලු දෙනා ඉස්ලාම් දහම වැලඳගත් අතරම ඔහුව නායකත්වයේ ද පිහිටුවීය. මෙතැන් පටන් ඉස්ලාමීය ජනරජයක් නිර්මාණය විය. දිනෙන් දින විශාල ගෝත්‍ර නියෝජනය කල ජනයා ඔහු වටා අත්වැල් බැඳ ගැනීම නිසා ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ ගියහ. 

මෙයට නොරිසි වූ මක්කා නුවර පාලනය කළ කුරෙයිෂි වරුන් නායක මුහම්මද් තුමාණන් සහ ඔහුගේ පිරිස සමග විටින් විට ගැටුන අතර එහිදී විශාල යුධමය ජයග්‍රහණයන් මුස්ලිම්වරුන් අත්කර ගත්හ. ඒ අතර දිනක හුදෙයිබියා නම් ස්ථානයේ කුරෙයිෂි වරුන් එක්ව නායක මුහම්මද් තුමාණන් සමග ගිවිසුමකට එලඹීය. එනම් මක්කම වන්දනා කිරීමට ඔවුනට අවසර දීමත් සටන් විරාමයකට මුලපිරීමක් සම්බන්ධවය. නමුදු ගිවිසුමට එළඹි කුරෙයිෂි වරුන්ම එකී ගිවිසුම කඩ කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි ව 630 දී මදීනා ඉස්ලාමීය ජනරජයේ විසූ මුස්ලිම් හමුදාව මක්කා නුවර වටලමින් එහි වූ ජනයාට හානියක් නොකර එහි පාලනය සියතට ගෙන යටත් කර ගත්හ. නායක මුහම්මද් තුමාණන් තමාට විරුද්ධ වූ බොහෝ දෙනෙකුට සමාව දුන් අතරම කුරෙයිෂි නායකයින් බොහෝ දෙනෙකුට ද පොදු සමාව ලබා දුන්නේය. මක්කා ජයග්‍රහණයන් පසු එහි විසූ බොහෝ ජනයා ඉස්ලාම් ආගමට වැලඳගත් අතර මුහම්මද් සහ පිරිස ශුද්ධ ක:බා දේවස්ථානයේ වූ මිථ්‍යාදෘෂ්ටික දේව ප්‍රතිමා සියල්ලම විනාශ කර එවක ඉබ්‍රාහිම් නබිතුමාගේ අවධියේ තිබූ ඒක දේවවාදය රජ කල ශුද්ධ භූමියක් සේම නැවතත් එය පිලිසකර කළහ. 

මක්කා නුවර ජයග්‍රහණයෙන් අනතුරුව මුස්ලිම්වරුන් පිරිවරා ගත් නායක මුහම්මද් තුමාණන් සිය පළමු හජ් වන්දනාව එහි ඉටු කලහ. එහිදී ඔහු අරෆත් නම් කඳුවැටිය මතට නැග සිය අවසන් දේශනය පැවැත්වීය. සියල්ල නිම කර නැවතත් සිය බිරිඳගේ නිවස පිහිටි මදීනා නුවරට සැපත් වූ ඔහු දින කිහිපයකින් දැඩි සේ රෝගාතුරව කල් ගෙවූ අතරම සිය 62 වියේදී මෙලොව හැර ගියේය. එය ඔහුගේ සදාදරණීය අනුගාමිකයන් හට නම් දරාගත නොහැකි තරම් ශෝකයක් ගෙන දුන්හ. පසුව මදීනාහි ඔහු විසින් ඉදිකල මස්ජිදුන් නබවි නම් මස්ජිදයේම ඔහුගේ දේහය මිහිදන් කළහ.

මානව වර්ගයාගේ දෙලොමව ජය ගැනුමෙහිලා ඉස්ලාමීය මග දේශනා කරමින් එය ආරක්ෂා කරනට තම ජීවිතයම කැප කළ සැබෑ මානවවාදියෙකු වූත් මානව සංහතියට පහල වූ අවසාන නබිවරයා වූත් මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ ජීවිතය තුලින් අපට ගත හැකි ආදර්ශයන් බොහෝමයකි. 

එකී අප උම්මතයේ ගෞරවනීය නායක මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ ඒ උතුම් ආත්මයට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා...!

✍️ මොහොමඩ් මිනාස් 
ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය 
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය



 


Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

ඔප්පාරි විලාපය