නායක එම්.එච්.එම්. අශ්රෆ්

 


සටන්කාමියනේ ඉදිරියටම යමව්! නායකයෝ කිසි කලක මිය නොයතියි යන්න මා ඔබට පවසා සිටියේ නැතිද? තුවක්කුවකින් පිට වන ඒ උණ්ඩය අප සටන දුර්වල කරත් අප සතුරා ජයග්‍රහණය කළා යැයි අප කලබල විය යුතු නැත.
                                  - එම්. එච්. එම් අෂ්රෆ් - 

සිංහනාදය තම කතා විලාසයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන්ම තම ප්‍රතිපත්තිය තුලින් එය යථාර්ථයක් බවට පෙරලූ ශ්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයෙකු අප අතුරින් වෙන් වී අදට වසර 20ක් සපිරිව ඇත. ඔහුගෙ නික්ම යාම එසේ සිදුවුවත් මනරම් නැගෙනහිර පළාත් පොළොව මත ඔහුගේ නාමය නම් තවමත් ජීවමානය. වර්ෂ 1948 ක් වූ ඔක්තෝබර් මස 23 වන දින සමන්තුරේ ගම්මානයේ මෙලොව එලිය දුටු එම්.එච්.එම් අෂ්රෆ් තම මූලික අධ්‍යාපනය හැදෑරීම සිදු කළේ කල්මුණේ වෙස්ලි විද්‍යාලයේදීය. කුඩා කල සිටම ප්‍රගුණ කළ තම අධ්‍යාපන කටයුතු වලින් පසු ඔහු ඊලඟට ඇතුළු වූයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයටය. එහිදී ද ප්‍රථම පන්ති ගෞරව සම්මානයක් සහිතව නීතීඥ වෘත්තීයට එලඹි ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිය උපාධිය සහ පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කලේය. 

" මට මිතුරෙකු අහිමි වූ අතරම ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අහිමි විය.  සාමකාමී, සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ දර්ශනයක් ඔහු තුළ තිබුණි"
                       - හිටපු අමාත්‍ය මංගල සමරවීර -

ඊට අමතරව කාව්‍යකරණයේ සහ කෙටිකතා ලිවීමෙහිලාද ඔහු කටයුතු කර ඇත. පසුකාලීනව ෆෙරියල් මැතිණිය සමග විවාහ ගිවිසගත් ඔහුට අමාන් අෂ්රෆ් නමින් පුත්‍ර රත්නයක් විය. සිය තරුණ අවධියේ සිට දේශපාලන කටයුතුවලට ඇල්මක් දැක්වූ  ඔහු 1986 වර්ශයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දේශපාලන පක්ෂයක් ලෙසින් ලියාපදිංචි කරමින් 1989, 1994,2000 යන වර්ෂ වල පැවැති පාර්ලිමේන්තු මැතිවරණ වලදී අම්පාර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් තේරී පත් විය. එවක චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව තුල වරාය සහ නාවික අමාත්‍ය ධුරය හෙබවමින් තම විෂය ක්ෂේත්‍රයටත් එහා ගිය සේවයක් ඔහු ඉටු කර ඇත. ශ්‍රි ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය යනු ඒ අතුරින් ඔහු ජාතියට දායාද කළ මහත් සම්පතකි. මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමට එම්. එච්. එම්. අෂ්රෆ් මහතා මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි.




1995 වසරේ ජූලි 26 දින නිවේදනය කල ගැසට්පත්‍ර ප්‍රකාරව, ශ්‍රී ලංකා අග්නිදිග  යුනිවර්සිටි කොලේජිය පිහිටුවනු ලැබූ අතර,එය 1995 ඔක්තෝම්බර් මස මුල්ම වරට අක්කරෙයිපත්තුවට නුදුරු අඩ්ඩාලච්චනෙයි ග්‍රාමය පිහිටි රජයේ ගුරුවරුන් පුහුණු විදුහල් පරිශ්‍රයේදී එය ඇරඹීය.

මෙලෙස අග්නිදිග විශ්වවිද්‍යාල පාසලට පැමිණි පළමු කාණ්ඩය වූයේ, නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් මාරුකරණ ලද විද්‍යාර්ථීන්ගෙන් පිරිසකි. 1996 වසරේ මාර්තු 27 වැනිදා නිකුත් කල ගැසට් පත්‍ර ප්‍රකාරව මෙම පාසල සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ලෙස නම්කෙරූ අතර, එම ගැසට් නිවේදනය 1996 මැයි 15 වනදා සිට බලාත්මක කෙරුණි. ආරම්භයේදී විශ්වවිද්‍යාලය කලා හා සංස්කෘත පීඨය සහ කළමණාකරණ හා වාණිජ්‍යය පීඨය යන පීඨ දෙකකින් සැදුම්ලත් මෙම විශ්ව විද්‍යාලය  අඩ්ඩාලච්චනෙයි ග්‍රාමයේ පවත්වාගෙන ගියහ.

පසුව 1997 වසරේදී විශ්වවිද්‍යාලයට අළුතින් ව්‍යවහාරික විද්‍යා පීඨය එක් කල අතර, එය කල්මුණේට ආසන්න සමන්තුරේහී ඉදි විය. 1998 වසරේ මැයි මස, කලා හා සංස්කෘත පීඨය, කළමණාකරණ හා වාණිජ්‍යය පීඨය, ප්‍රධාන පුස්තකාලය හා අනෙකුත් පරිපාලන කාර්යාල සියල්ල, අඩ්ඩාලච්චනෙයි සිට ඔලුවිල් ග්‍රාමයේ අලුතින් ඉදිකල අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් වරාය නගරය අසලට වන්නට තිබූ භූමිය වෙත ගෙන එන ලදී. 2005 ඔක්තෝම්බර් මස ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය නමින් තවත් එක් පීඨයක් විශ්වවිද්‍යාලය වෙත එක් වීමත් සමගම විශ්ව විද්‍යාලය කෙමෙන් කෙමෙන් විශාල විය. පසුව ඉංජිනේරු පීඨය සහ තාක්ෂණ පීඨය ඉදි වීමත් සමගම ඔලුවිල් ප්‍රධාන විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පීඨ පහකින් සහ සමන්තුරේ එක් පීඨයක් ලෙස අග්නිදිග විශ්ව විද්‍යාල සමන්විත විය.

එකී ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය අද දේශයේ සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙනුම ලබන දිවයිනේ ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාලක් වේ. කෙසේ වෙතත් වර්ෂ 2000ක් වූ සැප්තැම්බර් මස 16 වන දින පෙරවරු 9.30 ත් අතර කාලය තුළ ඔහු ගමන් කළ හෙලිකොප්ටර් යානයේ එන්ජිමේ සිදුවූ දෝෂයක් හේතුවෙන් ඔහු මෙලොව හැර ගිය බව පැවසුවත් ඇතැමුන්ට එය තවමත් නොවිසඳුණු ප්‍රහේලිකාවක් බව ඔහු උපන් ගම්මානයේ වැසියන් ප්‍රමුඛ ඔහුගේ සමීපතමයන් පවසයි. ඔහුගේ දේහය කොලඹ ජාවත්ත සුසාන භූමිය මිහිදන්ව ඇත නමුත් නැගෙනහිර පළාතේ වැසියන්ගේ හදවත් පතුල් තුළ ඔහු අදටත් ජීවමානව පවතී. ඔහුගේ එම හදිසි ඇවෑමෙන් අදට වසර 20ක් වන මේ මොහොතේ ඔහුගේ මෙළොව හැර යාම පිළිබඳ වූ පණිවිඩය ලාංකීය මුස්ලිම් ප්‍රජාව අතර අදටත් ගෙන දෙනුයේ අතිශය කනස්සල්ලට පත් වන පුවතක් ලෙසිනි. ඔහුගේ වියෝවත් සමගම ලාංකීය මුස්ලිම් ප්‍රජාවට අහිමි වූ ඔහුගේ අමිල නායකත්වයේ අඩුපාඩුව අදටත් තදින්ම දැනේ.

කෙසේ නමුත් නබි මගට අනුව ඔහු මෙලොව ඉතිරි කර යන එකම එක් වස්තුවක් වේ. එය නම් අප වෙනුවෙන් හඬ නගා, අප වෙනුවෙන්ම ඔහු ඉතිරි කර ගිය අග්නිදිග විශ්ව විද්‍යාලය නම් දැනුම පිරි තෝතැන්නයි. මෙලොව පවතින තාක් එකී මෙහෙවරෙහිලා එම ආනිසංස ඔහු භුක්තිෂ  විඳිනු ඇතැයි අප පතමු. ඔහු වෙනුවෙන් අපට කළ හැක්කේ ඔහුගේ ආත්මයේ සුගතිය උදෙසා සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමය. ඔහුගේ සමාජ දේශපාලන චින්තනය ඔස්සේ ඉදිරියට යමින් ලෝකය අර්ථවත් කිරීමය.

ඔහුගේ පාපයන්ට දෙවිඳුන්ගේ සමාව ලැබ උතුම් වූ ජන්නතුල් ෆිර්දවුස් නම් ගෞරවාන්විත ස්වර්ගයේ සුවය ලැබේවායි අප පතමු.

සටහන

✍️ මොහොමඩ් මිනාස්

ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය.
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය.

2020.09.16

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය