අල් රාසි





නව වන සියවස වන විට බැග්ඩෑඩ් නුවර පරිපාලනයට අවුරුදු 50 ක් සැපිරී තිබුනද එම වකවානුව එහි වූ දේශපාලන බලයෙහි උච්චතම අවස්ථාව විය. තවද දැනුමේ සහ වෛද්‍ය කේෂ්ත්‍රයේ කේන්ද්‍රස්ථානය ද එය විය. අරාබි ඔෟෂධවේදය සඳහා පදනම සැකසූ වැදගත් බොහෝ ග්‍රීක කෘති අරාබි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එහිදීය. ඉස්ලාමීය වෛද්‍යවරු ග්‍රීක වෛද්‍ය විද්‍යාවට ගරු කල අතර විටෙක එය කලාතුරකින් ප්‍රශ්න කළ අතරම පසුකාලීනව ඔවුන්ගේම නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ඔවුන්ගේ අදහස්ද දක්‌වමින් එම දැනුමද ක්ෂේත්‍රයට එක් කිරීමට ඔවුන් කටයුතු කලහ.



මෙම යුගයේ බැග්ඩෑඩ් හි සේවය කළ වෛද්‍යවරුන්ගෙන් එක් අයෙකු සුවිශේෂී විය. ඔහු නමින් අබූ බක්කර් මුහම්මද් ඉබ්නු සකරියියා අල් රාසි නම් විය. (ක්‍රි.ව. 865-925) බටහිර රටවල “රාසස්” යන නාමයෙන් හැඳින්වෙන අල්-රාසි, වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අංශ වලට මූලික දායකත්වය දුන් වෛද්‍යවරයෙක් ලෙසද විටෙක දාර්ශනිකයෙක් සහ රසායන විද්‍යාඥයෙක් ලෙසින් ඉතිහාසයේ පෙනී සිටියි. විශේෂයෙන් ඔහු වෛද්‍ය විද්‍යාවේ ළමා රෝග, ප්‍රසව හා අක්ෂි වෛද්‍ය ක්ෂේත්‍රවල පුරෝගාමියකු විය. ඔහුගේ වෛද්‍ය ක්‍රමයේ විශේෂ ලක්‍ෂණයක් වූයේ රසායනික ඔෟෂධ අධික ලෙස භාවිතා කිරීමෙන් වැළකී නිවැරදිව නියාමනය කළ ආහාර වට්ටෝරු රෝගියාට ලබා දීම මගින් රෝග සුව කිරීමට ඔහු කැමති වීමයි. එපමණක් නොව, සතුන්ට හා මිනිසුන්ට ඒවා භාවිතා කිරීමට පෙර ඒවා මගින් ඔවුන්ට ඇති විය හැකි බලපෑම් පිළිබඳ තක්සේරු කිරීම සඳහා ඔහු විවිධ පරීක්ෂාවට ද ඒවා භාජනය කළේය.



ප්‍රවීණ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස අල් රාසි ප්‍රථම වරට ඇල්කොහොල් විෂබීජ නාශකයක් ලෙසත්, අබිං නිර්වින්දනය සඳහා යොදා ගන්නා ඔෟශධයක් ලෙසත් භාවිතා කළේය. මුත්රාශයේ සෑදෙන ගල් පිළිබඳ සොයාගත් පළමු වෛද්යවරයා ඔහු වන අතර ශල්යකර්ම වලදී සේටන් (Seton) නම් මෙවලම භාවිතා කළ පුද්ගලයා ද ඔහුය. අල් රාසි ඔෟෂධවේදය හා ඔෟෂධ සැකසීම කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වීය. ඔහු රසදිය වල භාවිතය හඳුන්වා දුන් අතරම විසි වන සියවසේ මුල් භාගය දක්වා ඔසුසැල්වල භාවිතා කළ ශල්‍ය මෙවලම් සහ උපකරණ ( mortars, flasks, spatulas, phials) දියුණු කළේය.

ලෝකයේ COVID-19 ව්‍යාප්තියේ ආරම්භයේ සිටම පිරිසිදු කිරීමේ කටයුතු වලදී සබන් වල භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විස්තර කර ඇති අතර, සෞඛ්‍ය විශේෂඥයින් නිතරම ජලය සමග ප්‍රතිබැක්ටීරීය සබන් භාවිතයෙන් නිතිපතා අත් සේදීමේ වැදගත්කම අවධාරණය කරයි.

පුරාණ බබිලෝනියේ ක්‍රි.පූ. 2800 දී පමණ සබන් වැනි සේදුම්කාරක ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සාක්ෂි තිබුණද, අද අප දන්නා සබන් ( Bathing bar soap) පළමුවරට නිෂ්පාදනය කරනු ලැබුවේ 10 වන සියවසේදීය. ඒ ඉස්ලාමීය ස්වර්ණමය යුගය ලෙස පොදුවේ හඳුන්වන මුල් දිනවලය. 

පර්සියානු වෛද්‍යවරයෙක්, රසායන විද්‍යාඥයෙක් වන අබූ බක්කර් මුහම්මද් ඉබ්නු සකරියියා අල් රාසි විසින් සබන් සෑදීම සඳහා වට්ටෝරු කිහිපයක් විස්තර කර ඉදිරිපත් කළේය.



මෙම වට්ටෝරු භාවිතයෙන් එවක සිරියාව ලොව මුලින්ම යුරෝපයට සහ අනෙකුත් ප්‍රදේශවලට සබන් අපනයනය කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කළේය. 13 වන සියවස වන විට සබන් නිෂ්පාදනය මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්ත වූ අතර දමස්කස් සහ ඇලෙප්පෝ යන ප්‍රදේශවල ඓතිහාසික මූලාශ්‍ර එයට සාක්ෂිදරයි. 

අල් රාසි විසින් රෝග සහ ප්‍රතිකාර පිළිබඳ පෙර වූ විද්වතුන්ගෙන් උපුටා ගත් වෛද්‍ය වාර්තා පොත් සහ අත් පිටපත් 200 කට වැඩි ප්‍රමාණයක් අධ්‍යයනය කර ඒවා සුරක්ෂිත කර ඇත. ඔහු එකල වෛද්‍ය විද්‍යාවේ දියුණුවට දායක වූ න්‍යායන් රාශියක් නවීකරණය කළේය. පසුකාලීනව ඔහුගේ පොත්පත් බොහොමයක් යුරෝපීය භාෂාවලට පරිවර්තනය කරන ලද අතර බොහෝ යුරෝපීය විශ්ව විද්‍යාල වල ඒවා භාවිතා කරන ලදී.

අල්-රාසි විසින් රචිත ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථවලින් එකක් වූයේ "කිතාබ් අල් හාවි" නම් වූ කෘතිය ය. ඔහුගේම නව සොයාගැනීම් වලට අමතරව ඔහුගේ අවධියේ සිදු කරන ලද සියලුම වෛද්‍ය සොයාගැනීම්වල විශාලතම වෛද්‍ය විශ්වකෝෂය එය විය. මෙම කෘතියෙහි විවිධ රෝග සහ ඒවාට ප්‍රතිකාර කල යුතු අන්දම පිළිබඳව මැනවින් සඳහන්ය. මෙම ග්‍රන්ථයේ විවිධාකාරී රෝග සහ ඒවාට කල යුතු ප්‍රතිකර්ම ගැන සඳහන්ය. තවද විවිධ රෝග සමග විශේෂ ඔෟශධ පිළිබඳ මාතෘකා සම්බන්ධ කරමින් මෙහි විස්තර සඳහන් කර ඇත. මෙම ග්‍රන්ථයේ අල් රාසි විසින් වෛද්‍යවේදයේ පැමිණෙන උණ රෝගය හා සම්බන්ධ ගැලන්ගේ රටාවන්ට අනුකූල නොවන සිද්ධීන් මැනවින් පෙන්වා දී ඇති අතර, උණ රෝගය පිළිබඳ ගැලන්ගේ අදහස්ද විවේචනය කර ඇත. 

අල්-රාසිගේ තවත් ප්‍රසිද්ධ ග්‍රන්ථයක් වූයේ "අල් තීබ් අල් මන්සුරි" ය. එහි අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාව, ශල්‍යකර්ම හා අක්ෂි වෛද්‍ය විද්‍යාවේ පැමිණෙන විවිධ වෛද්‍ය ගැටලු වලට පිළිතුරු සඳහන්ව ඇත. එවක වසූරිය හා සරම්ප යනු එකම රෝගයක් බව හඳුනාගෙන තිබුනත් ඒවා එකිනෙකට වෙනස් රෝග දෙකක් ලෙස සායනිකව වෙන්කර හඳුනාගත් පළමු වෛද්‍යවරයා ලෙස අල්-රාසි ඉතිහාසයේ සඳහන් වේ. "කිතාබ් අල්-ජුදාරි ව අල්-හස්බා" නම් ග්‍රන්ථයේ අල්-රාසි විසින් වසූරිය සහ සරම්ප පිළිබඳ තොරතුරු සඳහන් කළ අතර රෝග දෙකේ රෝග ලක්ෂණද ඉදිරිපත් කළේය. මෙලෙස මෙම රෝගයන් පිළිබඳ ගවේෂණය කර ලොවට ඉදිරිපත් කළ පලමු වෛද්‍යවරයා මොහු විය. 

අල්-රාසි විසින් "මන් ලා යාහ්දුරුහු අල් තබීබ්" නමින් අත් පොතක් ලියා ඇත. එහි හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ආමාශයේ හට ගන්නා රෝග වැනි සියල්ලන්ටම පොදු රෝග සඳහා ප්‍රතිකාර සඳහන්ව ඇත. එය දුප්පතුන්ට, සංචාරකයන්ට සහ සාමාන්‍ය පුරවැසියාට භාවිතා කළ හැකි ගෘහ වෛද්‍ය අත්පොතක් හා සමාන විය.මධ්යකාලීන යුගයේදී වෛද්‍යවරුන් නූතනයේ මෙන් බහුල නොවූ බැවින් ජනයාට නිවසේ සිටම තම රෝග සඳහා ඔෟශධ සකසා ගැනීමට එම අත් පොත මහත් පිටිවහලක් විය. 

අල්-රාසි ආසාත්මිකතා සහ ශරීර ප්‍රතිශක්ති පිළිබඳ බොහෝ ලිපි ලියා ඇති අතර ඇදුම රෝගය මුලින්ම හඳුනාගත්තේ ඔහුය. උණ යනු රෝග සමග සටන් කිරීමට ශරීරය විසින් යොදා ගන්නා ස්වාභාවික ආරක්ෂක යාන්ත්‍රණයක් බවද අල්-රාසි පෙන්වා දුන්හ. 



එවක ග්‍රීක වෛද්‍ය විද්‍යාව මුළුමනින්ම අධ්‍යයනය කළ හොඳම වෛද්‍යවරයා ලෙස අල්-රාසි පිළිගැනීමට කිසිදු පැකිලීමක් නොමැත. මන්ද ඔහුගේ දායකත්වය නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවට බෙහෙවින් බලපෑ බැවිනි.

- මිනාස් -
ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය. 
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය.

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය