ඉබ්නු හයිතම්


කැමරාව යනු අද අපට නැතිවම බැරි උපාංගයක් බවට පත්ව හමාරය. එසේ ඔබ අප නිතර දෙවේලේ භාවිතා කරන කැමරාව නිපදවීමට පාදක වූ සිද්ධාන්තය නිර්මාණය වූයේ අදින් වසර දහසකට පමණ ප්‍රථම බව ඔබ දන්නවාද! 

නමින් අබූ අලී අල් හසන් ඉබ්නු අල් හෙයිතම් නම් වූ ක්‍රි.ව. 965 දී උපත ලැබූ මෙතුමාව ඇතැම් විද්වතුන් විසින් ලොව ප්‍රථම විද්‍යාඥයා ලෙසින්ද සලකනු ලැබේ. ඔහු අප අද භාවිතා කරන ඩිජිටල් කැමරාවේ ආගමනයට උපකාරී වූ මුල්කාලීන අපැහැදිලි කැමරාව (camera obscura) සොයා ගත් විද්‍යාඥයා වේ. 



12 වන හෝ 13 වන සියවස්වල යුරෝපීය පුනරුද අවදියේ වූ විද්වතුන් විසින් 'විද්‍යාත්මක ක්‍රමය' ස්වාධීනව සංවර්ධනය කරන බව මෑතක් වන තුරුම බටහිර ලෝකයේ බොහෝ දෙනා විශ්වාස කළහ. නමුත් අල්-හෙයිතම්, අල්-බීරූනි සහ ඉබ්නු සීනා වැනි අරාබිකරයේ විසූ මුස්ලිම් විද්‍යාඥයින් විසින් 11 වන සියවසේදී දෘෂ්ටි විද්‍යාව, ඛනිජ විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව ඇතුළු විවිධ අධ්‍යයන ක්ෂේත්‍රයන් සඳහා මෙම "විද්‍යාත්මක ක්‍රමය" නම් ප්‍රවේශය යොදා ගත් බව දැන් පිළිගනු ලැබේ. බටහිර ලෝකය අල් හසන් ලෙසින් හඳුන්වනු ලබන අල් හෙයිතම් නම් මොහු ලොව පළමු විද්‍යාඥයා ලෙස සලකනු ලබන්නේත් විද්‍යාත්මක ක්‍රමය නම් වූ අද අප භාවිතා කරන සිද්ධාන්ත යොදා ගත් පලමු පුද්ගලයා වීමයි. එය ඔහු විසින් ලේඛන ගත කරන ලද පැරණිතම ලේඛන වල සැකැස්ම අධ්‍යයනය කිරීම මගින් මැනවින් තහවුරු වේ. 'යම් නිගමනයකට එළඹීමට නම් උපකල්පනයක් සැකසීම සහ භෞතික පරීක්ෂණ හෝ ගණිතමය සාක්ෂි භාවිතා කරමින් ඒවා තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීම' එම සුවිශේෂී ලක්ෂණයි.

මෙසේ මොහු කයිරෝ නුවර ඉමාම් වරයෙකු වූ ඉස්මාඊලි සහ ෆාතීමි කලීෆා වරයා වූ හස්රත් අල්-හකීම් බින් අම්රුල්ලාහ්ගේ අනුග්‍රහය යටතේ වසර ගණනාවක් සේවය කළේය. විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරමින් ඇසහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔහුගේ උපකල්පනයන් යොදාගෙන භෞතික පරීක්‍ෂණ මගින් ඔහු අපැහැදිලි කැමරාව ( camera obscura ) සොයා ගත්තේය. camera obscura යනු 'අඳුරු කාමරය' හෝ 'පෙට්ටිය' ( darak room or box) යන අරුත ගෙනෙන ලතින් යෙදුම වන අතර එම පෙට්ටියහි ඇති සිදුරක් තුලින් ආලෝකය ගමන් කර විහිදුවමින් එක් පසෙකින් අනෙක් පසට රූපය දිස්වෙයි. මෙය පින්හෝල් කැමරාව ( pinhole camera ) ලෙසද හැඳින්වේ.

එලෙස ඔහු සොයාගත් කැමරාවෙහි මූලධර්ම ඔහුගේ අවදියෙන් පසු සංවාදයට ලක් නොවුවද, මෙම මූලධර්මය සොයා ගත් පළමු විද්‍යාඥයා ලෙස ඉබ්නු අල්-හෙයිතම් ඉතිහාසයේ සඳහන්ය. මෙම සංකල්පය පිළිබඳ පැහැදිලි පැරණිතම විස්තර සහ ආලෝකය පරාවර්තනය වීමේ මූලධර්ම හෙයිතම්ගේ "කිතාබ්-අල්-මනාසීර්" ග්‍රන්ථයේ සඳහන්ය. ( ඉංග්‍රීසි බසින් the optics නමින් ඔහුගේ ග්‍රන්ථය පරිවර්තනය කර ඇත ) නූතන කැමරාව සොයා ගැනීමට පාදක වූයේ ඔහුගේ එම සිද්ධාන්තයි.



ඉබ්නු අල්-හෙයිතම් තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ ගණිතය සහ දර්ශනය යන විෂයයන් පිළිබඳ විද්‍යාත්මක කෘති 200 කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති ඔහු ප්‍රමුඛත්වය දී ඇත්තේ භෞතික විද්‍යාව හා දෘෂ්ටි විද්‍යාවටයි. ඔහු භෞතික විද්‍යාව උදෙසා කල පුරෝගාමී සේවය පිණිස 'මධ්‍යකාලීන යුරෝපයේ භෞතික විද්‍යාඥයා’ යන අන්වර්ථ නාමයෙන් ඔහු ආමන්ත්‍රණය කරයි. 



පෙනීමේ ක්‍රියාවලිය, අක්ෂි ව්‍යුහය ලොවට හඳුන්වා දීමේ ගෞරවයක් වශයෙන් අගා ඛාන් විශ්වවිද්‍යාල මගින්' ඉබ්නු-ඊ-හයිතම්' සම්මාන ලබා දෙන අතර අක්ෂි වෛද්‍ය විද්‍යාව පිළිබඳ අධ්‍යයන සඳහා වෙනම අංශයක් ද පිහිටුවීමට කටයුතු කරයි.

- මිනාස් -
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය.

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය