අල් කින්ද්




ඊ. එච්. කාර්ට අනුව "ඉතිහාසය යනු වර්තමානයේ යතුර " යන නිර්වචනය යථාර්ථයක් බවට පත් කරමින් අතීතයේ වූ විද්වතුන්ගේ පිය සටහන් අතරින් වර්තමාන යුගය නිර්මාණය වී ඇති බව පසක් කරලීමට මේ හෙලි කරනුයේ එවන් අතීතයේ වූ එක් සුවිශේෂී චරිතයක් පිළිබඳවයි.

'#අල්_කින්දස්'..! බටහිර දේශයන්හි එනමින් ඔහු ජනප්‍රිය වුවද ඔහු නමින් #අල්_කින්ද් විය. මධ්‍යතන යුගයේ 'අරාබිවරුන්ගේ දාර්ශනිකයා' යන අන්වර්ථ නාමයෙන් ඉතිහාස පොත් ඔහුව ආමන්ත්‍රණය කරයි. කාර්ඩානෝ විසින් මධ්‍යතන යුගයේ විසූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතුන් දොළොස් දෙනාගෙන් එක් අයෙකු ලෙසින් අල් කින්ද් නම් මෙම විද්වතාව හැඳින්වීමට තරම් හේතු වූයේ ඔහු තුල වූ බුද්ධි මහිමයි. ඔහු බොහෝ ක්‍ෂේත්‍රයන්ට ලබා දුන් මුල් දායකත්වයන් අති මහත්ය. 



විටෙක දාර්ශනිකයෙක්, තාරකා විද්‍යාඥයෙක්, වෛද්‍යවරයෙක්, ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක් සහ භූගෝල විද්‍යාඥයෙක් ලෙසින් ඔහුගේම නව සොයාගැනීම් ඔස්සේ ඔහුගේ නාමය අරාබි වංශ කතාවේ රැව් දේ. ඔහු එවක සංගීතය ක්ෂේත්‍රයේද විශාරදයෙකු විය.

යාකූබ් ඉබ්නු ඉෂාක් අල්-කින්ද් උපත ලැබුවේ ක්‍රි ව 800 වකවානුවේ දී කුෆා දේශයෙහිය. (වර්තමාන ඉරාකය) ඔහුගේ පියා එවක එහි පාලකයා වූ කලීෆා හරූන් අල් රෂීද් යටතේ සේවය කළේය. අල් කින්ද් බැග්ඩෑඩ් හි සිය දීර්ඝකාලීන වෘත්තීය ජීවිතය ගත කළ අතර ඔහු එවක අල්-මුතවක්කීල්, අල්-මාමු:න් සහ අල්-මු:තසිම් පාලකයන්ගේ සමකාලීනයෙකු ද විය. ඔහු ක්‍රි ව 873 දී අල්-මු:තමිද්ගේ පාලන සමයේදී මෙලොව හැර ගියේය. 

ඔහු විසින් ලෝකයාට දායාද කළ දැනුම වත්මන් යුගයේ දැනුමේ පදනම මෙන් විය. රෝගීන් සඳහා භාවිත කරන එලෙස බොහෝ ඔෟෂධ සඳහා යොදා ගත යුතු මාත්‍රාවන් ක්‍රමානුකූලව තීරණය කළ පළමු වෛද්‍යවරයා අල්-කින්ද් ය. පසුකාලීනව රෝගීන්ගේ විවිධාකාර රෝග වලට අනුව මාත්‍රා ප්‍රමිතීන් (බෙහෙත් වට්ටෝරුව) නිර්ණය කිරීමට එම දැනුම බෙහෙවින් ඉවහල් විය. 



රසායන විද්‍යා ක්ෂේත්‍රයේදී අල්-කින්ද් තර්ක කළේ මූලික ලෝහ වටිනා ලෝහ බවට පරිවර්තනය කළ නොහැකි බවත් රසායනික ප්‍රතික්‍රියා මගින් මූලික මූලද්‍රව්‍ය පරිවර්තනය කළ නොහැකිය යනුවෙනි. ඔහු අරාබි සංඛ්‍යා ක්‍රමය වර්ධනයෙහිලා ද සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය. මීට අමතරව, ඔහු තාරකා විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා අල්-හවාරිස්මිගේ ජ්‍යාමිතික දැනුම සංවර්ධනයෙහිලා දායක විය. තවද ඔහු භෞතික විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රයක් වන ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාවට මුල් දායකත්වය ලබා දුන් අතර ඒ පිළිබඳව ග්‍රන්ථයක් රචනා කලහ. සියවස් කිහිපයකට පසු අල්-කින්ද්ගේ එම කෘතිය රොජර් බේකන්ගේ අධ්‍යනයන්ට විශාල සහයක් විය.

අල්-කින්ද් සංගීතයේ විද්‍යාත්මක පැතිකඩයන් පිළිබඳව පර්යේෂණ කළේය. ශබ්ද සංකලනයන් ඇති කිරීම සඳහා දායක වන වන විවිධ ස්වරයන්හි නිශ්චිත තාරතාවයන් ඇති බවත්, සංකලනයක තරම සටහන් වීම ස්වරයන්හී සංඛ්‍යාතය මත රඳා පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය. තව දුරටත් ඔහු ශබ්දයේ තාරතාවය තීරණය කිරීම සඳහා ක්‍රමවේදයන් සපයන ලදී. ඔහු තවදුරටත් ඒ පිළිබඳ පවසමින් සඳහන් කළේ ශබ්දයක් ඇති වන විට එමගින් වාතයේ ශබ්ද තරංග ජනනය කරන අතරම එවා කණ් බෙරයේ ගැටීම මගින් ශ්‍රවණය ඇතිවන බවයි.




අල් කින්දි විසින් ස්වකීය ග්‍රන්ථ දෙසිය හතළිහකට වඩා වැඩි ප්‍රමාණයක් රචනා කර ඇති බව ඉතිහාසයේ සඳහන්ය. ඒවා අතර තාරකා විද්‍යා ක්ෂේත්‍රයට අදාළ ග්‍රන්ථ 16 ක්, වෛද්‍ය විද්‍යාව හා දර්ශනය යන විෂයයන් සඳහා ග්‍රන්ථ විසි දෙකක්, භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ ග්‍රන්ථ දොළහක් , ජ්‍යාමිතික ක්ෂේත්‍රයේ තිස්දෙකක්, ගණිත ක්ෂේත්‍රයේ ග්‍රන්ථ එකොළහක්, තර්කන ක්ෂේත්‍රයේ ග්‍රන්ථ නවයක්, සංඛ්‍යා පද්ධති ක්ෂේත්‍රයට අදාළ ග්‍රන්ථ හතරක්, සංගීත ක්ෂේත්‍රයේ ග්‍රන්ථ හතක් සහ මනෝ විද්‍යාව ක්ෂේත්‍රයට අදාළ ග්‍රන්ථ පහක් ඇතුළත් වේ. ඊට අමතරව ඔහු තාරකා විද්‍යා ක්ෂේත්‍රය සඳහා භාවිත කරන උපකරණ වලට අදාලව, වඩදිය බාදිය සංසිද්ධියට අදාළව , පාෂාණ සහ වටිනා ගල් වර්ග පිළිබඳ විශේෂ නිබන්ධන ද සැකසීය.


ක්‍රෙමෝනාහි ජෙරාඩ් විසින් ඔහුගේ ග්‍රන්ථ බොහොමයක් ලතින් භාෂාවට පරිවර්තනය කළේය. මෙම ග්‍රන්ථයන් අතර "ඉක්තියාරත් අල්-අයියාම්", "අල්-මොසිකා", "රිසලා-දාර්-තන්ජිම්", "ඉලයාත්-ඊ-අරිස්තූ", "මද්-ඕ-ජස්ර්" සහ "අද්වියා මුරක්කාබා" නම් එවක ක්ෂේත්‍රයේ විශිෂ්ට ගණයේ වූ ග්‍රන්ථ ද ඇතුළත් විය.

භෞතික විද්‍යාව, ගණිතය, වෛද්‍ය විද්‍යාව, දර්ශනය සහ සංගීතය යන ක්ෂේත්‍රයන්හි උන්නතිය උදෙසා අල්-කින්දි විසින් ඇති කළ බලපෑම සියවස් ගණනාවක් පුරා පැවතීමට තරම් එම දැනුම එවක ලෝකයාට ප්‍රයෝජනවත් විය.

-මිනාස්-
ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය. 
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය.

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය