ඔප්පාරි විලාපය



#ඔප්පාරි

සමාජ විවිධත්වය යනු දේශයන්ගෙන් දේශයට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වූ සංස්කෘතීන් මගින් උරුම වූ අපූරු අංගයකි. එම විවිධත්වය විටෙක අලංකාරයක් මෙන්ම විටෙක මහා විනාශකාරී සිදුවීම වලට මුල පුරයි. නමුත් මේ පැවසෙන්නේ එක් සංස්කෘතියක වූ අපූරු ශෝක ප්‍රකාශයක් හා බැඳුන කතාවක්. ඔප්පාරි යනු විශේෂයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ කඳුකරයේ වතූ ආශ්‍රිතව ජීවත් වන දමිළ ජනයාගේ සංස්කෘතියේ පුරාණ කාලයේ පටන් පැවතගෙන එන ශෝකය ගෙන දෙන විලාපය මුසු දුක්ගැනවිල්ලකි. ඔප්පාරි යනු එම සමාජයේ ජන ගී මෙන් වූ සම්ප්‍රදායක් වන අතර එහිදී බොහෝ විට ප්‍රශංසාව හා දුක විලාපයක් සමග මුසු කරමින් ගායනාවක් සේ ඉදිරිපත් කරයි. ඔප්පාරි විලාපය සාමාන්‍යයෙන් ගායනා කරනු ලබන්නේ අවමංගල්‍ය උත්සවයකදීය. මරණය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට පැමිණෙන කාන්තාවන් විසින් දේහය අසල හිඳගෙන හෝ සාමූහික වශයෙන් මෙම ශෝකය මුසු තාලවත් විලාපය ගායනා කරයි. එය මියගිය උදවිය උදෙසා තමාගේම ශෝකය ප්‍රකාශ කිරීමටත්, මිය ගිය අයගේ ළඟම සිටින සහ ආදරණීයයන් සමග ශෝකය බෙදා ගැනීමටත් ඔවුන් උපකාරී කර ගනී. බොහෝ දමිළ ප්‍රජාවන් අවමංගල්‍ය උත්සවයකදී සිය ශෝකය ප්‍රකාශ කිරීමට ඔප්පාරි විලාපය නිතැතින්ම භාවිතා කරති. මන්ද එය ඔවුන්ගේ සංස්කෘතික අංගයක් හා සමාන කාරියකි. ඒ නිසාම සමහර අවස්ථාවල අවමංගල්‍යකදී වෘත්තීය ඔප්පාරි ගායිකාවන් බඳවා ගන්නා පුරුද්දක් ද ඔවුන් අතර වේ. 


එහිදි තාලයක් සහිත පද්‍යමය විලාපය නිශ්චිත රටාවකට අනුව ඔවුන් ගායනා කරයි. ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාවිත වන වචන සංකලනයන්ගේ සුලු වෙනස්කම් පැවතියද එම විලාපයේ ස්වරූපයේ සමානකමක් පවති. එහිදී පිලිගත් නිශ්චිත ගායනාවක් නොවන අතර මියගිය පුද්ගලයාට ප්‍රශංසා කරීම,ඔහු ජීවත්ව සිටියදී කළ යහපත් ක්‍රියා මෙනෙහි කිරීම, ඔහු හෝ ඇය නොමැති පාඩුව ගැන වැනි මියගිය අයගේ ගුණ වර්ණනාවක් ශෝකය උපදින සේ විලාපය මුසු කරමින් ගයයි. මියගිය උදවියගේ ලඟම ඥාතීන් තම ආදරණීයන්ට තමන් කෙතරම් සමීපද යන්න පෙන්වීමට ඔප්පාරි ශෝකී විලාපය බොහෝ විට උපකාරී වේ. 


තමිල්නාඩුව හා ලාංකීය ග්‍රාමීය ප්‍රදේශවල ගායනා කරන ඔප්පාරි විලාපය තවමත් ප්‍රචලිතව පැවතුනද නූතන පරපුර කෙමෙන් එම සම්ප්‍රදායෙන් ඈත් වන ස්වභාවයක් තිබුනත් එම හැඬුම් විලාසයන් තුල තම ආදිතමයන්ගේ පිය සටහන් ගැබ්ව තිබේ. එසේ ශේෂව පවතින්නේ ඔවුන්ගේ සංස්කෘතියේ අපූරුතම මෙන්ම ඔවුන්ගේම වූ උරුමයයි.

සටහන

මොහොමඩ් මිනාස් 

Comments

Post a Comment

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)