සූෆි කාව්‍ය විශාරද ජලාලුද්දීන් රූමි



සංගීත නාදයන් අතුරින් කුමන නාදයන් අපට හරාම් (තහනම්) වේද? 

දිනක් එලෙස ඇසූ කල ඔහු එයට මෙලෙස පිළිතුරු දෙමින්,

"ඒ ධනවතුන්ගේ මේස මත ඇති භාජන හා හැඳි ගෑරුප්පු වල ගැටීම මගින්, කුසගින්නෙන් පෙළෙන දුගී දුප්පතුන්ගේ කනට ළඟා වන නාදයයි."

ඒ සූෆි කාව්‍ය සම්ප්‍රදායේ සදා නොමැකෙන සලකුණ වූ ශ්‍රේෂ්ඨ රූමිගේ කාව්‍යමය සංකල්පනාවකින් එක් බිඳකි. 



මව්ලානා ජලාලුද්දීන් රූමි යනු 13 වන සියවසේ විසූ පර්සියානු කාව්‍ය විශාරදයකි. තවද ඉස්ලාමීය ඉතිහාසයේ ආධ්‍යාත්මීය විද්වතෙකු ( සූෆි විද්වතෙකු ) ලෙසින් ද මෙතුමා ප්‍රසිද්ධය. ක්‍රි ව. 1207 සැප්තැම්බර් 30 වන දින බෝල්ක් නම් වර්තමාන ඇෆ්ගනිස්ථානයේ උපත ලද ජලාලුද්දීන් රූමි සූෆි ධර්මාචාර්යවරුන්ගේ පවුල් පරිසරයක හැදී වැඩුණි. ඔහුගේ පියා බහාදුද්දින් වලද් නම් සූෆි විද්වතෙකු මෙන්ම එවක විසූ නීතිවේදීයෙකු වන අතර මව මුමීනා කතුන් ය. ක්‍රි.ව 1215 සිට 1220 දක්වා කාලය තුළ මොන්ගෝලියානුවන් මධ්‍යම ආසියාව ආක්‍රමණය කරන විට රූමි සිය පවුලේ උදවිය ප්‍රමුඛ ගෝල බාලයින් කැටුව බෝල්ක් නුවරින් පිටව ගියහ. මොවුන් තවලම් උපයෝගී කරගෙන බැග්ඩෑඩ්, දමස්කස්, මලත්යා, අර්සින්කන්, සිවස්, කයිසෙරි සහ නිග්ඩේ ඇතුළු මුස්ලිම් වරුන්ගේ භූමි අතරින් සංචාරය කළෝය. එලෙස මෙම පිරිස ශුද්ධ වූ මක්කා නගරයේ වන්දනා කිරීමෙන් අනතුරුව ඔවුහු වර්තමාන බටහිර තුර්කියේ පිහිටි කොන්යා ප්‍රදේශයෙහි( වර්තමාන තුර්කියහි ) පදිංචි වූහ. එවක රූමිගේ පියා ඉස්ලාමීය දේවධර්මාචාර්යවරයෙක් සහ දේශකයෙක් ලෙස සේවයෙහි නිරත විය.



රූමි විසින් එදිනෙදා ජීවිතයේ විවිධ සිදුවීම් අධ්‍යාත්මික ලෝකය විස්තර කිරීම සඳහා යොදා ගත්හ. රූමිගේ කාව්‍ය නිර්මාණයන් විශේෂයෙන් ඇෆ්ගනිස්ථානය, ඉරානය සහ තජිකිස්තානය යන පර්සියානු බස හසුරුවන්නන් අතර ජනප්‍රියත්වයක් උසුලනු ලැබීය. තවද එම විශිෂ්ට ගණයේ කාව්‍යන් විශාල සංඛ්‍යාවක් ලොව විවිධ භාෂාවන් වලට පරිවර්තනය කර ඇත.

රූමි ඔහුගේ පියාගේ ශිෂ්‍යයෙකු වූ සෙයියිද් බර්හානුද්දීන් මුහක්කික් තෙර්මාසිගේ ගෝලයෙක් විය. සෙයියිද් තෙර්මාසිගේ මඟ පෙන්වීම යටතේ ඔහු සූෆි ධර්මතාවයන් ප්‍රගුණ කළ අතරම ආධ්‍යාත්මීය කරුණු සහ ආධ්‍යාත්මික ලෝකයේ රහස් පිළිබඳව විශාල දැනුමක් ලබා ගත්තේය. ක්‍රි.ව. 1231 දී සිය පියා වූ බහදුද්දීන්ගේ අභාවයෙන් පසු රූමි තම පියාගේ තනතුර උරුම කරගෙන සුප්‍රකට දේවධර්මාචාර්යවරයෙක් බවට පත්විය. ඔහු කෝනියා දේශයේ මුස්ලිම් මස්ජිදයන්හි දේශකයෙකු විය. රූමි වයස අවුරුදු 24 පසු කරන විට ධාර්මික ක්ෂේත්‍රයේ මනා දැනුමක් ඇති විද්වතෙකු බව ලොවට පසක් කර තිබුණි.

රූමිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සිදු වන්නේ ඉන් අනතුරුවයි. රූමි ඒ වන විටත් දේවධර්මාචාර්යවරයෙකු මෙන්ම ප්‍රසිද්ධ දේශකයෙකි. ක්‍රි.ව. 1244 දී ඔහු තබ්‍රිස්හි මාවතක ගමන් කරන අරතතුර ෂම්සුදීන් නම් ඉබාගාතේ යමින් සිටි අයකු ඔහුට හමු විය. මෙම හමුවීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. ෂම්සුදින් සහ රූමි ඉතා සමීප මිතුරන් බවට පත්විය. නමුත් රූමිගේ එම සමීප මිතුදම ගැන අමනාප වූ සිය සිසු සිසුවියන් විසින් මිතුරාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමත් සමගම ෂම්ස් දමස්කයට පලා ගියේය. එය රූමිට ශෝකය ගෙන දෙන්නක් විය. රූමි සිය සංගීතය, නර්තනයන් හා කාව්‍යන් තුළින් ෂම්සුදීන්ට ඇති ආදරය හා ඔහුගේ මරණය ගැන ශෝකය ප්‍රකාශ කළේය. ෂම්සුදීන් හමුවීමෙන් පසු වසර දහයකට ආසන්න කාලයක් රූමි විසින් ගසල් ( අරාබි කාව්‍යන් මගින් ඇරඹි ආධ්‍යාත්මීය කාව්‍ය නිර්මාණයන්) ලිවීමට කටයුතු කලහ. ඔහු ගසල් සම්පාදනයක් නිර්මාණය කළ අතර එයට ඔහු විසින් දීවාන්-ඊ-කබීර් හෝ දීවාන්-ඊ ෂම්ස්-ඊ තබ්‍රිසි යන නම තැබීය. මෙය රූමිගේ විශිෂ්ටතම කෘතියකි. එය රූමිගේ හොඳම මිතුරා වූ ෂම්සුදීන්ගේ ගෞරවය පිණිස නම් කරන ලද ගසල් එකතුවකි. රිද්මයානුකූල ක්‍රමයකට අනුව ගායනය සඳහා සකස් කරන ලද කාව්‍ය එකතුවක් එහි අඩංගු වේ. එය එවක ‘දාරි’ නම් සංවාදාත්මක සාහිත්‍ය රටාවට ඔහු රචනා කිරීමට සමත්ව ඇත. එය පර්සියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කෘතියක් ලෙස සැලකිනි. 

ෂම්සුදීන්ගෙන් පසුව රූමිට රන්කරුවෙකු හමු විය. ඔහු නමින් සලාඋද්දීනි සර්කුබ් විය. ඔහුව තම සහායකයකු කරගත් රූමි විසින් සලාඋද්දීනි සර්කූබ් මිය ගිය පසු ඔහුගේ සමීපතම ගෝලයෙකු ලෙස හුසාම් අල් චලබි පත් කර ගත්හ. පසු කාලයේ රූමි සිය ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ ඇනටෝලියාවේ ය. එහිදී ඔහු රචනා කළ "මත්නාවි" නම් සිය ප්‍රධාන කෘතියෙහි වෙළුම් හයක් නිම කළේය.



මත්නාවී කාව්‍යන් අපූර්ව රටාවකට නිර්මාණය කර ඇත. එමගින් පාඨකයා දැනුවත් කිරීම, උපදෙස් දීම සහ විනෝදාස්වාදය ලබා දීමේ ලකෂනයන් දැක ගත හැකිය. ඔහුගේ එවක සගයා වූ හුසාම් අල් චලබිගේ යෝජනාවට අනුව රූමි විසින් මත්නාවි කෘතියේ වැඩ කටයුතු ආරම්භ කළ බව විශ්වාස කෙරේ. මෙම නිර්මාණය මගින් ආධ්‍යාත්මික ජීවිතයේ විවිධ පැතිකඩයන් පිළිබඳ පැහැදිලි කිරීමට රචකයා උත්සාහ කර ඇති බව පෙනේ.

රූමිගේ ජනප්‍රියත්වය ජාතික හා ජාත්‍යන්තර දේශසීමා ඉක්මවා පැතිරී ගොස් ඇත. ඉරානය, ඇෆ්ගනිස්ථානය සහ තජිකිස්තානය යන රටවල පර්සියානු බස හසුරුවන්නන් විසින් ඔහුව සම්භාව්‍ය කවියෙකු ලෙස සලකයි. වසර ගණනාවක් තිස්සේ ඔහු තුර්කි සාහිත්‍යයට විශාල බලපෑමක් කළේය. ඉරානයේ විසූ මොහම්මද් රේසා ෂජරියන්, ෂහරාම් නසරි, දාවුද් අසාද් සහ ඇෆ්ගනිස්ථානයේ උස්තාද් මොහම්මද් හෂේම් චෙෂ්ටි ඇතුළු බොහෝ කලාකරුවන් ඔහුගේ කාව්‍යන් සඳහා සම්භාව්‍ය අර්ථකථනයක් ලබා දීමට පෙළඹුණි. රූමිගේ කෘති රුසියානු, ජර්මානු, උර්දු, තුර්කි, අරාබි, ප්‍රංශ, ඉතාලි සහ ස්පාඤ්ඤ ඇතුළු ලොව පුරා වූ බොහෝ භාෂාවලට පරිවර්තනය කර ඇත.

මව්ලානා ජලාලුද්දීන් රූමි ක්‍රි.ව. 1273 දෙසැම්බර් 17 වන දින කොල්යා හි සෙල්ජුක් අධිරාජ්‍යයේ ( වත්මන් තුර්කිය තුළ) මෙලොව හැර ගියේය. කොන්යාහි ඔහුගේ පියාගේ සොහොන අසල තැන්පත් කල ඔහුගේ දේහය "ජලාලුද්දීන් රූමි" නම් ශ්‍රේෂ්ඨ සුෆි කවියා සිහිපත් කරමින් ඔහුගේ නමින් සොහොන් කොතක් සහ සොහොන් ගෙයක් ඉදිකරන ලදි. එය මුස්ලිම් මස්ජිදයකින්, විසිත්ත ශාලාවකින් සහ නර්තන ශාලාවකින් සමන්විත වේ. එය නැරඹීමට ලොව නානාවිධ දේශයන්ගෙන් ඔහුගේ රසිකයින් පැමිණේ.

- මිනාස් -
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයෙ

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය