වර්ගවාදී මානසිකත්වයෙන් දරුවන්ගේ අනාගතය මුදවාගනිමු.

 


අතීත සහ නූතන ශ්‍රී ලංකාව ගත් කළ එහි ඉතිහාසයේ වූ හැරවුම් ලක්ෂ සහ නොමැකෙන සලකුණු අතර වාර්ගිකයන් අතර වූ නොසන්සුන්කාරී ගැටුම් ප්‍රධාන ස්ථානයක් උසුලයි. විටෙක මනුෂ්‍ය ඝාතනයකට දෙකකට එහා යමින් සිදු වූ කලකෝලාහල අවසානයේ දරුණු යුධ ගැටුම් දක්වා ගොස් මනුෂ්‍ය සංහාර උත්සන්න වූ අවස්ථා ඒ අතර වේ. 


ශ්‍රී ලංකාව යනු දියුණු වෙමින් පවතින රාජ්‍යයකි. වසර ගණනාවක් පුරා බටහිර රාජ්‍යයන්ගේ යටත් විජිතයක් සේ පවතිමින් නිදහස ලැබුනත් අප රාජ්‍යයට ආර්ථිකමය අතින් හිස එසවීමට නොහැකි වීමට මූලිකම බාධකය වූයේ මෙකී ජාතීන් අතර විරසකය තුලින් මතු වූ අවිශ්වාසය මුසු පරිසරයක් බිහි වීමයි. කාලය දිනෙන් දින ගත වන අතරතුර අපට වඩා පසුපසින් සිටි බොහෝ රාජ්‍යයන් අද අප පසු කොට සීඝ්‍ර සංවර්ධනයක් සමග විශාල ආර්ථික දියුණුවක් අත් කරගෙන ඇත. නමුදු අප ශ්‍රී ලංකීය ජාතිය තවමත් නැවතුන තැනමය.


ඇතැම් දේශපාලකයන් ද ආගම හා ජාතිය දඩමීමා කරගෙන තම දේශපාලන අවස්ථා තර කරගැනීමේ ද අඩුවක්ද නොපවතී. ජනතාවගේ සාමය සහ යහ පැවැත්ම දිනෙන් දින ආපස්සට ඇදී යමින් පවතී. තවදුරටත් මෙකී ව්‍යසනය දෙහ අප බලා සිටීම අතහැර ලාංකීය ජාතිය මෙකී ව්‍යසනයෙන් ගොඩ ගැනීමට කාලය උදාවී ඇත. 


ආර්ථිකමය වශයෙන් අප පසු කර ගිය රාජ්‍යයන් හා සම වෙමින් දේශය ගොඩ නැගීමේ කාර්යයෙහිලා අප කටයුතු කල යුතුය.  එකී අරමුණ සාක්ෂාත් කරගැනීමෙහිලා මූලික අඩිතාලම වශයෙන් තවදුරටත් බහු විධ ආගමිකයන්, ජාතීන් අතර ගැටුම් ඇති කිරීම වලකා ජාතීන් අතර විවිධත්වය ද රකිමින් සියල්ලන් අතර අන්‍යෝන්‍ය විශ්වාසයක්, එකිනෙකා අතර අවබෝධයක් ගොඩ නැගිය යුතුය. විවිධත්වය යනු තවදුරටත් බෙදීමක් හෝ වෙන්වීමක් නොව අප සමස්ථ ශ්‍රී ලංකා රාජ්‍යයටම උරුම වූ ජාතිකමය සම්පතක් හා ශක්තියක් බවට පෙරලමින් එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය යුතුය. 


සමාජය ගත් කල ජාතිවාදී වර්ගවාදී අදහස් වැඩියෙන්ම පෝෂණය වනුයේ වැඩිහිටියන් අතරයි. පසුකාලීනව ඔවුන්ගේ ආභාෂයෙන් තම කුඩා දරුවන් අතරටත් එකී විෂ කාන්දු වේ. නමුත් ඉගෙන ගන්නා වයසේ පසුවන දරුවන්ට අන්‍ය සමාජය සහ විවිධත්වය ගැන නිසි අවබෝධ ලබා දුන් හොත් ඔවුනට තම වැඩිහිටියන් විසින් තම හිසට දමනා ජාතිවාදී හැගීම් වල හරි වැරැද්ද මුල සිටම බෙදා වෙන් කර ගත හැකි වේ. එතුලින් අනාගත පරපුර ජාතිවාදී, වර්ගවාදී අදහස් වලින් තරමකින් හෝ අඩු කර ගත හැකි නම් එය විශිෂ්ට ජයග්‍රහණයකි. එහි ප්‍රතිලාභයත් රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා හේතු වේ. 


මෙකී අරමුණු සාක්ෂාත් කරගැනීමෙහිලා උපායමාර්ගික වැඩ පිලිවෙලකට අප සූදානම් විය යුතුය. එහි අදියර දෙකකි. පලමු වැන්න ශ්‍රී ලංකාවේ වෙසෙනා සියලු ජාතීන්, සියලු ආගමිකයන්, ඔවුන්ගේ ආගම් වල මුලික හරයන්, ඔවුන්ගේ භාෂා වෙනස්කම් පිළිබඳ දැනුවත් කරමින් බහුවිධ සමාජයක සියලු කොටස් හඳුන්වමින් නව විෂයක් දරුවන්ට හඳුන්වා දීමයි. දෙවැන්න නම් එකී සිද්ධාන්තමය කරුණු ප්‍රායෝගිකව දරුවන්ගේ මනසට කාවැද්දීම සඳහා පාසැල් පෙළපොතක් දරුවන්ට හඳුන්වා දී දේශන මාලාවක් සහ මිශ්‍ර ජාතීන්ගෙන් සැදුම්ලත් දරුවන් කණ්ඩායම් කේන්ද්‍ර කොටගෙන වැඩමුළු පැවැත්වීමයි. තවද පාසල් පාධක ඇගයිමක් ලෙස හැකි අයුරින් විවිධ ජාතීන්ට අයත් ආගමික ස්ථානවලට දරුවන් රැගෙන යමින් එකී සංස්කෘතික වෙනස්කම් ප්‍රායෝගිකව ඔවුනට අත්දැකීමට අවස්තා සැලසීමයි. 


යල් පැන ගිය ඉගැන්වීම් රටාවෙන් දරුවන් මුදවාගෙන සමාජයක ජීවත් වීමට පන්නරයක් ලබා දීම කෙරෙහි අප උත්සුක විය යුතුය. අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කොට එකී ප්‍රතිපත්තිය මල් ඵල ගැන්වීමට ජාතියක් සේ අප එකට කටයුතු කළ යුතුයි.


- මොහොමඩ් මිනාස් -

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය


ඡායාරූපය | arawade.lk


UNDP Sri Lanka  Ministry of Education (Sri Lanka)

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය