කාමිල්ට අහිමි වූ ජුම්මා දිනය.

 


කාමිල් යනු යහපත් අයෙකි. සමාජයේ කිසිදු නරක නාමයක් නොලද පුද්ගලයෙකි. ආගමික වතාවත් වලදීද ඔහු සාමාන්‍ය උනන්දුවක් ඇත්තෙකු වූ නමුත් ඕනෑම අයෙකු තුල අඩුපාඩුවක් තිබෙන්නා සේම කාමිල් තුලද යම් අඩුපාඩුවක් විය. එනම් ඉටු කිරීමට නියමිත වූ ආගමික වතාවත් නියමිත කාල පරාසයේ ඉටු නොකර අවසාන මොහොත දක්වා ප්‍රමාද කරමින් එය ඉටු කිරීමට ඔහු පුරුදු වී සිටීමයි. 

යාඥාවන් අතුරින් ඉතාමත් ශ්‍රේෂ්ඨ වූ යාඥාව කුමක් දැයි මුහම්මද් නබි (සල්) තුමාණන්ගෙන් විමසනු ලැබූ විට "සලාතය නියමිත වේලාවට ඉටු කිරීම" යැයි එතුමන් පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය: මුස්ලිම්)

නියමිත වේලාවට නැමදුම් කටයුතු වල නිරත වන ලෙස ඉස්ලාම් දහම එලෙස අවධාරණය කරත් කාමිල්ට ඒ පිළිබඳ වැඩි අවධානයක් නොවීය. මේ ආකාරයට කිසිදු වැඩ රාජකාරියක් නොතිබුනත් ඔහු සෑම සතියකම සිකුරාදා දින පවත්වන ජුම්මා දේශනය ප්‍රමුඛ සලාතයට ප්‍රමාද වී සහභාගී වීම ඔහු පුරුද්දක් කරගෙන සිටියහ.

"විශ්වාස කළ අයවලුනී! සිකුරාදා දින සලාතය සඳහා නුඹලා කැඳවනු ලැබූ කල්හි අල්ලාහ් සිහි කිරීමෙහිලා නුඹලා ඉක්මන් වන්න. වෙළඳාම අත් හැර දමා අල්ලාහ් සිහි කිරීමෙහිලා ඉක්මන් කර ගමන් කරන්න." (අල් කුර්ආනය 9:62)

ජුම්මා දේශනය සහ සලාතයේ වැදගත්කම පිළිබඳ ඉස්ලාම් දහම එසේ පැවසුවත් කාමිල්ට ඒ පිළිබඳවත් වැඩි අවධානයක් නොවීය. මේ අතර තුර පැමිණියේ අප බලාපොරොත්තු නොවූ ආකාරයේ වයිරස් ව්‍යාප්තියකි. දිනෙන් දින ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යනවාත් සමගම සිදුවන මරණ සංඛ්‍යාවද ඉහල යන තත්ත්වය දුටු රජය සංචරනයන් සහ මිනිස් රැස්වීම් සීමා කලහ.

"වසංගතයක් පැතිරී යන භූමියකට ඔබ ඇතුළු නොවන්න. තවද ඔබ සිටින ප්‍රදේශයේ වසංගතයක් පැතිර ඇති නම් ඉන් පිටතට නොයන්න" 

(බුහාරි, මුස්ලිම් හදීස් ග්‍රන්ථය) 

මේ ආකාරයට මෙවැනි වසංගත තත්ත්වයකදී කටයුතු කළ යුත්තේ කේසේදැයි පවසා ඇති මුහම්මද් නබිතුමාගේ උපදෙස් වලට අනුගත වෙමින් මුස්ලිම් විද්වතුන් ද පැවසුවේ ජුම්මා සලාතය සඳහා රැස්වීම් නවතා මස්ජිදයේ නැමදුම වෙනුවට නිවසට වී නැමදුම් කටයුතු වල නිරත වන ලෙසයි. සමාජ දුරස්ථභාවයන් ඇති කිරීමෙහිලා රජය ප්‍රමුඛ රටේ ආගමික සංස්ථා එසේ කටයුතු කලද ජනතාව ඒවා පිළිපැදීමෙහිලා කටයුතු නොකළහ. එහි ප්‍රතිඵලයක් ලෙස වයිරසය ව්‍යාප්තියේ වැඩි වීමක් සිදුවිය. දිනෙන් දින වර්ධනය වන වයිරසය සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් ද නොවීය.

මේ අතරවාරයේ කාමිල් දැඩි සේ ආදරය කළ සිය මුත්තනුවන්ටද වයිරසය ආසාදනය වී ඇති බව ආරංචි විය. පනවා ඇති සංචරණ සීමා නිසා මුත්තනුවන් විසූ ගම්මානයට ඇතුල් වීමටද ඔහුට නොහැකිය. ඔහුට කළ හැකි වූයේ නිවසේ සිට සිය මුත්තනුවන්ට සුව වන ලෙස ප්‍රාර්ථනා කරමින් දෙවියන්ගේ පිහිට පැතීම පමණි. මෙලෙස නැමදුම් පළස මත හිස තබා දෙවියන් යදින අතරවාරයේ මෙයට පෙර තමා ගත කළ ජීවිතයේ කළ වැරදි ද මැනවින් අවබෝධ කර ගත්හ. 

මේ අතරවාරයේ වයිරසයේ ව්‍යාප්තිය පහව ගියහ. මුත්තනුවන්ට ද සුව විය. කාමිල්ට ඇති වූයේ මහත් සැනසුමකි. රටද සාමාන්‍ය අතට පැමිණෙනවාත් සමගම ආගමික කටයුතු ද සීමා මායිම් වලට යටත්ව නැවත ආරම්භ විය. පෙර දිනවල සේ මස්ජිදය තුළට සිතුසේ පැමිණෙමින් යහමින් නැමදුම් කටයුතුවල නිරත වීමට හැකියාවක් නැත. මන්ද මස්ජිදයට ඇතුළු වන බැතිමතුන් ගණන සීමා විය. උපරිම බැතිමතුන් ගණන ඇතුළු වූ පසු මස්ජිදයේ දොරටු වැසිනි. 

මේ අතරතුර එය තවත් එක් සිකුරාදාවක් උදා විය. කාමිල් පෙරට වඩා නැමදුම් කටයුතුවලදී උද්යෝගිමත් විය. උදයම අවදිව ස්නානය කොට පිරිසිදු වී ජුම්මා දේශනය සඳහා වේලාසනින් මස්ජිදයට යාමට සැරසුන ඔහු කඩිසරව මස්ජිදය වෙත පියමං කලහ. නමුත් මස්ජිදයේ දොරටුවේ අලවා තිබූ දැන්වීම දුටු ඔහු එතැනම නතර විය. ඔහු තුල විශාල කනගාටුවක් හට ගත්හ. 

"වයිරසය ආසාදිත ආශ්‍රිතයෙකු මෙම මස්ජිදය වෙත පැමිණීම හේතුවෙන් දින නියමයක් නොමැතිව මස්ජිදය වසා ඇත" 

පවතින නීතියට හිස නමා විගසින් ඔහු එතැනින් නික්ම ගියත් ඔහුට ඔහු පිළිබඳවම ලැජ්ජාවක් ඇති විය. තමාට ඇති හැකි අවදියේ රිසි සේ නැමදුම් කටයුතුවල නිරත වීමට හැකියාවක් තිබුනත් එවක ඔහු ආගමික කටයුතුවල නිරත වීමේ එතරම් උනන්දුවක් නොතිබිණි. ආධ්‍යාත්මය පසෙක තබා ලොෟකික දේ අතර ඇලී ගැලී සිටි ඔහුට, අද ඔහු කළ ඒ වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාවක් ලැබුණත් ඔහුගේ සිතට තෘප්තියක් නම් නොවීය. 

කාමිල්ට ඇති වූ කණගාටුව අද අප සමාජයේ වෙසෙන ඇතැම් අයටද ඇති වූයේ නැතිද? අප නොදන්නා වූ කෙතරම් අඩුපාඩුකම් අප තුල තිබේද? එබැවින් කාමිල් ට අත් වූ ඉරණම අපටද අත් නොවීමට නම් අපත් නියමිත වේලාවට ඉටු කළ යුතු නැමදුම් කටයුතු නියමිත වේලාවේ ඉටු කර මරණින් මතු දිවියට සූදානම් වෙමු. මරණය නම් අවස්ථාව කොයි මොහොතක අප පසුපස හඹා එයි දැයි අප කිසිවකු හෝ නොදනී. එබැවින් මරණය කිනම් මොහොතක අප ඉදිරයට පැමිණේ ද කණගාටුවටවකින් තොරව නිදහසේ එය වැලඳ ගැනීමට අප සැදී පැහැදී සිටිය යුතුය.

"නුඹලා අතුරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැයි නුඹලාව පරීක්ෂා කරනු පිණිස මරණය හා ජීවය ඔහු මැව්වේය."  (ශුද්ධ වූ අල් කුර්ආනය 67:2)



✍️ මොහොමඩ් මිනාස් 

ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය 

Comments

  1. යථාර්තවාදී... , සමාජයට ගැළපෙන මාතෘකාවකි.... අප ද නියමිත වෙලාවේ නැමදුම් ඉටු කර මරණින් මතු ජිවිතයට සුදානම් වෙමු.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය