ශ්‍රී ලංකීය උණුසුම් දේශපාලනය සහ අනාගත මුස්ලිම් නායකත්වය.
නූතන ශ්‍රී ලංකාව යනු බහු ජාතීන් හා බහු ආගමිකයන්ගෙන් පිරි රාජ්‍යයකි. එකී රාජ්‍යයට සංස්කෘතික විවිධත්වය නම් විචිත්‍රවත් අලංකාරයක් ඇත. වසර දෙදහස් පන්සියයකට වඩා පැරණි ඉතිහාසයක් ඇති මේ ලක් දිව විවිධ වකවානු වල සිට සිහල, දමිළ, මුස්ලිම් සහ නානා විධ වූ ජාතීන් දිවි ගෙවා ඇත. එසේ දිවි ගෙවන අතර තුල මෙරට විවිධ යුගයන්හි දේශය පාලනය කළ පාලනාධිකාරියත් සමග ඉහත කී ජාතීන් එක්ව කටයුතු කර ඇත. ඒ අතුරින් මුස්ලිම්වරුන්ට අත් වන්නේ සුවිශේෂී ස්ථානයකි.
අතීතයේ පටන් ජාත්‍යන්තර වෙළෙඳාම යහමින් ඉටු කළ අරාබි ජනපදිකයන් ශ්‍රී ලංකාව සමගද ගණුදෙනු පැවැත්වූවේ ආසියානු කුලු බඩු හා නානාවිධ වටිනා වෙළඳ ද්‍රව්‍යන්හී තෝතැන්නක් ලෙසින් ලක් දිව පිහිටා තිබූ බැවිනි. එකී වෙළෙඳ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස ඇතැම් අරාබීහූ මෙරට වාස භූමියක් සේ යොදා ගනිමින් දේශීය ස්ත්‍රීන් අවාහ විවාහ කොට ගනිමින් මෙරටේම ස්වදේශික ජන කොටසක් බවට පත් විය. එහිදී මෙරට පාලනය කල සිහල පාලකවරුන්ට තම නොමසුරු දායකත්වය ලබා දෙමින් ජාතික උන්නතිය උදෙසා ඔවුන් කටයුතු කරන ලදී. තවද කුරුණෑගල රාජධානිය වැනි විශේෂ යුග වල හෙලයන්ගේ රාජ්‍ය පාලනයටද සහය වූ ඔවූහු මෙරට විවිධාකාර ක්ෂේත්‍රයන්ට ද ඔවුන්ගේ දායකත්වය සැපයීය.
එසේ ගමන් කරන අතරවාරයේ බටහිර ජාතීන්ගේ මෙරට ආගමනයත් සමග ලාංකීය දේශපාලනයේ මංපෙත් වල හැරවුම් ලක්ෂයක් ඇති විය. එසේ 18 වන සියවසේ කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණය හමුවේ ව්‍යවස්ථා දායක සභාවවේ ජාති මූල නියෝජනයට අන් සියලු ජාතීන් ද සමග ලාංකීය මුස්ලිම්වරුන්ද නතු කර ගනිමින් විවිධාකාර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයන් හමුවේ ඉංග්‍රීසීන් මෙරට පාලනය ගෙන ගියහ. එය රටේ අනාගත ජාතික සමගිය දෙසින් බලන කල හිතකර ක්‍රමයක් නොවුනත් පැවති ක්‍රමය තුල මුස්ලිම් සමාජයේ වූ උගතුන් ඇතුළු අබ්දුර් රහ්මාන්, සිද්ධි ලෙබ්බේ, ටී. බී ජායා, සර් රාසික් ෆරීඩ් හා මාකන් මාකර් වැනි උගතුන් මෙරට පාලනයට විශාල වශයෙන් දායක වී සහයෝගයෙන් කටයුතු කර ඇත.
පසුව 1978දී සිදු වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් හමුවේ මෙරට දේශපාලනයේ කැපී පෙනෙන වෙනස්කම් සිදු විය. ඒ අතර ජාතීන් පදනම් කර ගත් දේශපාලන පක්ෂ මෙරට බිහි විය. එයින් රටට සිදු වූ යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ද විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අෂ්රෆ් වැනි චරිත වල දායකත්වය මෙරට ප්‍රධාන පක්ෂ රාජ්‍ය බලය තහවුරු කර ගැනීමේදී තීරනාත්මක සාධක වූ බව ඉතිහාසය හැදෑරීමේදී අපට දැක ගත හැක. පසු කාලීනව රට තුල වූ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන රටේ බහුතර සිහල ජනතාවට පමණක් සීමා නොවී කාත්තන්කුඩි බෝම්බ ප්‍රහාර හා නැගෙනහිර මුස්ලිම් ජනතාවට සිදුවූ බලපෑම් හමුවේ ලාංකීය මුස්ලිම්වරුන්ට ද තර්ජනයක් විය. එවිට ලාංකීය මුස්ලිම් දේශපාලන කඳවුරද උතුරු නැගෙනහිර පළාත්වල විසූ මුස්ලිම් ජනතාව සමගින් රටේ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන කඳවුරු හා එක්ව බෙදුම්වාදීන්ගෙන් රට බේරා එක්සත් කර ගැනීමේ කර්‍යයෙහිලා එක්ව කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 2010 වර්ශයේ 30 වසරක අඳුරු බෙදුම්වාදී යුගය අවසන් කරමින් සැමරූ යුධ ජයග්‍රහණයෙහිලා මුස්ලිම්වරුන් ද කොටස් කරුවන් විය.
පසුව උදා වූයේ මෙරට යුද්ධයෙන් පීඩිත ජනයාගේ ප්‍රදේශ සංවර්ධනයයි. එයට මුස්ලිම් දේශපාලන බල කඳවුරු ලෙස සමස්‌ත ලංකා ජනතා කොංග්‍රසයේ රිෂාඩ් බදියුදීන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් වැන්නන් හා සෙසු ප්‍රධාන ජාතික දේශපාලන පක්‍ෂ වල මුස්ලිම් නායකයන් තම බලය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්‌ඩුවට ලබා දෙමින් උතුරු නැගෙනහිර සීඝ්‍ර ආර්ථීක සංවර්ධනයක් ඇති කළහ. මේ අතර තුරම 2015 දී ඇති වූ යහපාලන සංකල්පය හා රටේ අත්තනෝමතික විධායක බලයට එරෙහිව ගොඩ නැගුන විපක්ෂයේ අරගලයට ද නිතැතින්ම මුස්ලිම් නායකයන්ගේ සහයෝගය ද හිමි විය. පසුව ගොඩනැගුණ සංහිඳියාව දලු දැමූ දේශය, මෙරට සිටින සියලුම ජන කොටස් වල ජීවත් වීමේ හා විවිධත්වයේ නිදහස තහවුරු කරලීය. නමුත් ඒ අතර මග සිදු වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය නම් මිලෙච්ඡ බිහිසුණු ඛේදවාචකය මේ සියල්ලක්ම සුණු විසුණු කිරීමට සමත් විය. එතුලින් 70-80 දශකයේ තිබුනාක් මෙන් ජන වර්ග අතර සැකය වෙෙරය නැවත දලුලමින් ජනාධිපතිවරණයක් අබියස රට වෙනම දේශපාලන ප්‍රවාහයකට හැරිණි.
ජේ ආර් ජයවර්ධනගේ 1978 ව්‍යවස්ථාවට අනුව උතුරු නැගෙනහිර ජනතාවගේ සහයෝගය නොමැතිව ජනාධිපතිවරයෙකු පත් වීමට අපහසු යැයි සැලකූ ව්‍යවස්ථාමය සංකල්පයන් උඩු යටිකුරු කර බිඳ දමමින් 2019 ජනාධිපතිවරණයේදී දකුණේ බහුතරයක් ජනතාව ජාතිකමය සංකල්පයන් මුල් කරගෙන තම ඡන්දය ප්‍රකාශයට පත්කර ගැනීමට ඉදිරිපත් විය. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ගත් එකී ජනමතයට පුරවැසියන් ලෙස අප ගරු කළ යුතුය. නමුත් එවැනි වාතාවරණයක් තුල ලද මැතිවරණ ජයග්‍රහණයේ උණුසුමත් සමග උතුරු නැගෙනහිර ජනයා දේශපාලනික වශයෙන් අසරණ බවට පත් කරමින් කොන් කර ආතක් පාතක් නැතිව අතරමං කරවීම නම් ප්‍රජාතන්ත්‍රවාදයට ගෙන දෙනුයේ සාධනීය ලක්ෂණයක් නොවේය.
එක පිට එක ඛේදවාචක කිහිපයකට මුහුණ දුන් මුස්ලිම් නායකත්වයටද යන එන මං නැති අවස්ථාවක් උදා විය. නමුත් එයට ඔවුන් ද වගකිවයුතුය. මන්දයත් බලය ඇති දා තමන්ට උචිත දේශපාලනය මතයක නොඉඳ එකිනෙකා රජ කරවීමටත් තම පුද්ගලික සුබසිද්ධිය උදෙසා තම ජනවර්ග භාවිතා කොට ඔවුන්ගේ දේශපාලන ගමන ගෙන යෑමට ඔවුන් කටයුතු කිරීමයි. දිගින් දිගටම නැගුන ජාතිය ආගම පදනම් කර ගත් ප්‍රකාශ, සංවාදාත්මක අවස්ථා රටේ සංහිඳියාවට මරු පහරක් වී හමාරය. මෙවැනි අවස්ථාවන් වල රටේ පැවැත්වීමට නියමිත මැතිවරණයන් වලද එකී ජාති වාදී ප්‍රකාශ මැතිවරණ වේදිකා තුල පවසමින් ජාතීන් අතර විරසකයක් ඇති කරමින් ඇතැම් පක්ෂ මැතිවරණ ව්‍යාපාරය ඉදිරියටත් කරගෙන යාම අපට වැලැක්වීමට නොහැකිය. ඒ මෙරට දේශපාලනයේ ඇති පටු අවස්ථාවාදී ස්වභාවයේ ස්වරූපයයි. මේ ආකාරයට ජාතිය පදනම් කර ගත් ඡන්දය ප්‍රකාශ කිරීම් රටේ මුස්ලිම් වරුන් සුලුතරයක් වෙසෙන ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් නායකයන්ට ගෙන දෙනුයේ මහත් අපහසුතාවයකි. මන්ද අතීත ශ්‍රී ලංකාවේ සිහල හා දමිළ ඡන්ද වලින් ජයග්‍රහණය කල උගත් මුස්ලිම් නායකයන්ට (ජාතික නායකයන්) එතුලින් තම අවස්ථා ඇහිරී යාමයි. එය රටට හිතකර තත්ත්වයක් නම් නොවේ. මන්ද දක්ෂ බුද්ධිමත් මුස්ලිම් නායකයන්ගේ ගමනට මෙම ජාතිවාදී වැඩපිළිවෙළ බාධාවක් වීම අනාගත මුස්ලිම්වරුන්ගේ දේශපාලන නියෝජනත්වයට විවිධාකාර අයුරින් බලපාන බැවිනි. එහිදී මුස්ලිම්වරුන් මුහුණ දෙන ගැටලු ව්‍යවස්ථාදායකය සභාවට ඉදිරිපත් කිරීමේ මං අවහිර වේ. එතුලින් විශාල ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමට ඉඩ ප්‍රස්ථා ඇතිවේ.
එකී කාර්යයෙහිලා මුස්ලිම් නායකත්වය අතද වගකීමක් වේ. එනම් අනාගත මුස්ලිම් නායකත්වයේ දිගු කල් පැවැත්මට නම් මුස්ලිම් සහ මුස්ලිම් නොවන ජනයා අතරටත් ගොස් ඔවුන් සමග එකට කටයුතු කිරීමේ හැකියාව ගොඩ නගා ගැනීමයි. රටට අහිතකර යෝජනාවන් ඉදිරිපත් වන විට තම දේශපාලන පැවැත්ම ගැන නොසිතා රට වෙනුවෙන් අත එසවීම හෝ පහත හෙලීමට පෞර්ෂයෙන් යුත් සෘජු කොන්දක් පවත්වාගෙන යාමයි. තවද සියලු භාෂා ප්‍රගුණ කොට තම ප්‍රතිපත්ති පැහැදිලිව සමස්ථ ලාංකීය ජනතාව වෙත ඉදිරිපත් කිරීමට වෙහෙසිය යුතුය. මන්දයත් භාෂාව යනු දේශපාලනයේ තීරණාත්මක සාධකයකි. එතුලින් ගොඩ නැගෙන අන්‍යෝන්‍ය අවබෝධය ජනවර්ගයන් අතර එක්සත් බවට මනා පිටිවහලක් වේ. තවද ලාංකීය මුස්ලිම් නායකත්වය තවදුරටත් මුස්ලිම් සමාජය වෙතට පමණක් ලඝු නොවී අන්‍ය සමාජය වෙතටත් ගොස් අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරගනිමින් අනාගතයේ කටයුතු කළ හැකි යුගයක් උදා කර ගැනීමයි. ඒ අනුව සහස්‍රයක සිට රැක ගත් අන්‍යෝන්‍ය සහජීවනය ඉදිරියට ගෙන යාමෙහිලා අනාගත මුස්ලිම් නායකත්වය මත විශාල වගකීමක් වේ. එය අනාගතයේ මෙරට මුස්ලිම්වරුන්ගේ සුබසිද්ධියටත් රටේ සමස්ථ ජනතාවගේ ජීවිතය සමෘද්ධිමත් කිරීමෙහිලාද වැදගත් වේ.
මොහොමඩ් මිනාස්
ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය.
Comments
Post a Comment