හජ් උත්සවය නොහොත් ඊද්-උල්-අදා උත්සවය






හජ් උත්සවය නොහොත් ඊද්-උල්-අදා උත්සවය යනු කුමක්ද සහ එය සමරන්නේ කවදාද? 

ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන්ගේ ලුනාර් දින දර්ශනය නම් සුවිශේෂී ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ දුල් හිජ්ජා නම් මස 10 වන දිනට යෙදෙන ඊද් උල් අදා උත්සවය ලෝක වාසී ඉස්ලාමික ප්‍රජාව වාර්ෂිකව සමරයි. විටෙක කැප කිරීමේ උත්සවය ලෙසින් ද අර්ථ ගැන්වෙන මෙම හජ් උත්සවය, මෙවර බොහෝ ලෝවාසී මුස්ලිම්වරුන් විසින් විවිධ රටවල ජූලි 31 හෝ අගෝස්‌තු 1 වන දින සමරනු ලැබේ. 

හජ් වන්දනාවේ අවසානය

ශාරීරිකමය ශක්තිය හා මූල්‍යමය හැකියාවන් ඇති මුස්ලිම්වරුන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ එක් වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය, මෙම ඊද් උල් අදා උත්සවයෙන් සනිටුහන් කරයි. හජ් වන්දනා ගමන ස්වකීය ආත්මය පාපයන්ගෙන් පවිත්‍ර කරන අතරම ලෝක වාසී සියලු මනුෂ්‍යයිනගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරයි. ඒ සඳහා ලොව පුරා වෙසෙන මුස්ලිම් වන්දනාකරුවන් මිලියන 2.5 ක් පමණ වාර්ෂිකව සෞදි අරාබියාවේ පිහිටි මක්කා නුවර සහ මදීනා නගර කරා එක් රැස්වෙති. කෙසේ වෙතත්, මේ වසරේ සෞදි අරාබිය විසින් කොවිඩ් වයිරස් වසංගතය හේතුවෙන් ඉතා සරල මෙන්ම දැඩි සෞඛ්‍යය නීති අනුගමනය කරමින් සැලසුම් කළ හජ් වන්දනාවක් පවත්වන බව නිවේදනය කළ අතරම, ඒ සඳහා සෞදි රාජධානියේ ජීවත්වන 10,000 ක පමණ පිරිසකට පමණක් වන්දනා ගමනට සහභාගී වීමට අවසර දීමද සිදුවිය. 

ඊද්-උල්-අදා උත්සවයේ අරමුණ 

ඈත අතීතයේ විසූ ඊබ්‍රාහිමි නබි තුමාණන්ගේ දේව විශ්වාසය, ජීවිතාදර්ශය සහ ජීවිත කතාව ස්මරණය කරමින් නිම කරන මුස්ලිම්වරුන්ගේ හජ් වන්දනා සමය හජ් උත්සවයත් සමගම අවසන්ව යයි. එහිදී හජ් වන්දනාවට සහභාගී වන මුස්ලිම් ජනයා ශුද්ධ වූ මක්කා නුවර හජ් කර්තව්‍යය අවසන් කරන අතරම සෙසු මුස්ලිම් ජනතාව තම ගම් බිම් වල එයට සමගාමීව මෙකී උත්සවය සමරයි. 

ඊද් නැමදුම හා දානය

බොහෝ මුස්ලිම්වරු උදෑසන අවදිව දිය නා පිරිසිදු වී මස්ජිදය වෙත රැස් වී සාමූහික ඊද් නැමදුම ඉටු කරමින් ඊද් උත්සවය ආරම්භ කරයි. එදින ගම් බිම් වල වූ මුස්ලිම් දේවස්ථාන ජනී ජනයාගෙන් පිරී පවතින අතර විශාල පිරිසකට නැමදුම් කිරිම සඳහා බාහිර විධිවිධානද යොදා ගනු ඇත. අප ඕනෑම අයෙකුගේ සෑම එදිනෙදාකම පවත්වන උත්සවයක මාංශ ආහාරයක් හෝ ව්‍යාංජනයක් සැකසීම සාමාන්‍ය සිදුවීමකි. අති හැකි උදවිය හෝ නැති බැරි උදවිය තමනට හැකි විලසින් එසේ උත්සවයන් සමරණු ලැබේ. නමුත් මෙකී උත්සවයටම ආවේණික වූ විශේෂත්වයක් නම් නැමදුම අවසන් වූ පසු ඇති හැකි උදවිය එළුවෙකු, බැටළුවෙකු, ගවයෙකු හෝ ඔටුවෙකුගේ මාංශ ඔවුන්ගේ පවුලේ සමීපතමයන්, අසල්වැසියන් ප්‍රමුඛ මිතුරන් සහ අවශ්‍යතා ඇති අයවලුන් සමග එකිනෙකා හා බෙදා ගැනීම උත්සවයේම ඇති අංගයක් වීමයි. එයින් සරණාගතයින්, මහලු උදවිය සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු අඩු වරප්‍රසාදිත කණ්ඩායම්වලටද තම ඊද් උත්සව දිනය ධනවතුන් හා සමානව සැමරීමට ඉඩ කඩ උදාවේ. 

මේ ආකාරයට නබි ඊබ්‍රාහිම් තුමාණන්ගේ ජීවිතය ස්මරණය කරමින් ඉන් ගත හැකි ආදර්ශයන් ලැබ ආගමික වතාවත් වල නිරත වන මුස්ලිම් ජනයා තම දරුවන්, තම දෙමාපිය, වැඩිහිටි නෑ හිතවතුන් සමග එදින ගත කරමින් ඊද් උල් අදා උත්සවය සතුටින් සමරණු ලැබේ.

සටහන

✍️ මොහොමඩ් මිනාස්


Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය