ආ මග ආපස්සට අප හැරෙනවද?



ශිෂ්ඨත්වය නම් ගමන් මගෙහි පියවරෙන් පියවර පා තබමින් ඉදිරියට පැමිණි මිනිසා පෘථිවියේ ජීවත් වන බුද්ධිමත් ම සත්ව කොට්ඨාශය බවට පත් විය. ආදිතම යුගයේ කුල ගෝත්‍ර ආදී කණ්ඩායම් වලට බෙදී සිටි මිනිසා තම ඇදහීම් හා විශ්වාසයන් විනා තවත් එක් ඇදහීමකට හෝ විශ්වාසයකට එකඟත්වය පළ කිරීමට මැලි වීය. ඒ නිසාම මේ මිහිතලයේ දරුණු ගැටුම් හා කල කෝලාහල ඇතිවී භූමිය ලෙයින් තෙත් වූ අවස්ථා එමටය. මෙකී වාර්ගිකයන් අතර වූ එකිනෙකාගේ විශ්වාසයන් පිලිනොගැනීම යන කාරණා මත මේ පොලවට අහිමි වූ ජීවිත ගණන ගනන් කිරීමට නොහැකි තරම් විය. මන්ද පොලෝ තලයේ ඇති වූ ගැටුම් අතරින් වැඩිමනක් ඒවා එකිනෙකාගේ විවිධත්වය නොපිළිගැනීමෙහිලා උද්ගත වූ ගැටුම් වූ නිසාවේ. 

මේ අතරම කාලය කෙමෙන් ගත වන විට භූමිය මත ඇති වූ ලෝක යුද්ධ හා මහා ජන සංහාර වල අවසානයන් සනිටුහන් කරමින් මිනිසුන් සම්මුති වලට එලඹීමට පටන් ගත්හ. එය මානව පැවැත්ම තහවුරු කිරීමෙහිලා වැදගත් විය. ඒවාහි ප්‍රතිඵලයන් ලෙස කණ්ඩායම්, ගෝත්‍ර හා රටවල් වලට සීමා වී සිටි මිනිසුන් දසත සංක්‍රමණය වී බහුවිධ සමාජක්‍රම ඇති විය. එකී බහුවිධ සමාජ වල බහු ජාතිකයන්ගේ පැවැත්ම උදෙසා තව තවතවත් සම්මුති වලට එලෙඹෙමින් මිනිසා ශිෂඨත්වය නම් ආලෝකය දෙසට ගමන් කළහ. එලෙස මිනිසා අද අත් කරගෙන ඇති ශිෂ්ඨත්වය ලඟා කර ගැනීම සඳහා බොහෝ කැපකිරීම් කර ඇත. එම කැප කිරීම් වල ප්‍රතිඵලයන් නූතන සමාජයේ බොහෝ සුභ සිද්ධීන් උදෙසා බෙහෙවින් උපකාරී වූ අවස්ථා ඇත. නායක මුහම්මද් නබි තුමාණන් විසින් මදීනා ප්‍රඥප්තිය මගින් සුලු ජාතීන්ගේ ජීවත්වීමේ අයිතිවාසිකම තහවුරු කිරීම, නේල්සන් මැන්ඩෙලාගේ වර්ණ භේදයට එරෙහි අරගලයන්, ගැටුමකට වඩා සම්මුතියෙන් ගැටලු විසඳා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයන් බිහි කර ගැනීම, වහල්භාවය ලොවෙන් තුරන් කිරීම, ගෝලීයකරණය මගින් මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් වීම, ඒවාට හොඳම උදාහරණ වේ. 

නමුත් මෑතක සිට නිර්මාණය වන නව ලෝක ක්‍රමය තුල මිනිසා උදා කරගත් ශිෂ්ඨත්වය අමතක කරමින් පෙර සිටි අශිෂ්ඨ ලෝකය දෙසටම නැවත හැරෙන ප්‍රවණතාවක් දක්නට ලැබේ. ලෝකයේ ඇති වන කලු සුදු බෙදුම්වාදී අරගල, ආගමික ස්ථානවලට එල්ල වන ප්‍රහාර, විවිධත්වය පිළිගැනීමට එරෙහි වීමෙහිලා ඇති වන වෛරී අරගල, අන්‍ය ඇදහීම් වලට අපහාස කිරීම් දිනෙන් දින ඉහළ යමින් පවති. ඒවා වර්ධනයෙහිලා විශේෂත්වය නම් පවතින නීතියේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය හා විරෝධය පෑමට ඇති අයිතිය යොදා ගනිමින් ම එලෙස ශිෂ්‍ඨත්වයෙන් අශිෂ්ඨත්වය කරා ගමන් කිරීමට වෑයම් දැරීමයි. තවද ඒ සඳහා අන් අයද පොලඹවා ගැනීමයි.

උත්තර හා දක්ෂිණ ධ්‍රැව වල අයිස් කඳු දිය වෙමින්, කාන්තාර වල ගස් වැල් හට ගනිමින්, සාගර ජලය වැඩි වී දූපත් යට වෙමින් ලෝකය කෙමෙන් කෙමෙන් මුල් තත්වයට පත් වෙමින් පැවතුනත් අප අරගල කර මේ පොලව තුල රැකි ශිෂ්ඨත්වය ද නැවත අශිෂ්ඨත්වය කරා ගමන් කිරීම හෘද සාක්ෂියක් ඇති බුද්ධි ජීවියෙකුට අනුමත කළ නොහැක. අන්‍ය මත වලට විරෝධය පළ කරමින්, අනෙකාගේ විශ්වාසට එරෙහිව අසාධාරණයට එරෙහි වීම යන රූපයෙන් වක්‍රාකාරව කරන වෛරී අරගල සිදු කිරීම අශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කිරීමක් විනා මිනිසාට ඉන් අත් කර ගත හැකි සුගතියක් නොමැත. දේශපාලනික වශයෙන් හෝ වේවා, පටු ආගමික හා ජාතිවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීමෙහිලා බෙදුම්වාදයට උඩ ගෙඩි දෙමින් පිරිස් බල ගැන්වීම, වැගිරුන ලේ වල මහිමයෙන් මිනිසා එළඹුණු සාමයේ සම්මුතියට කරන බලවත් නිගාවක් නොවේද? නූතන ලෝකයේ සිදුවන වර්ග වාදී මනුශ්‍ය ඝාතන, ආගමික සිද්ධස්ථාන වලට කරනා පහර දීම්, අමු අමුවේ මරා දමන මනුෂ්‍යත්වය දෙස බලන විට මිනිසුන් මේ දිවි ගෙවනුයේ අවසිහියෙන් දෝයි ත් සැක සිතෙන තරමටම බරපතලය. 

එක් ජාතියක් පාගමින් තවත් එක් ජාතියකට ශ්‍රේෂ්ඨ ජාතියක් විය නොහැක. තවද යුද්ධයකදී එල්ල කරන පලමු වෙඩි පහරින්ම පරාජය වනුයේ මනුෂ්‍යත්වයයි. එබැවින් මානව සංහතියේ පැවැත්ම ඉදිරියටත් තහවුරු කිරීමට නම් තවදුටත් ශිෂ්ඨත්වය වල් වැදීමට ඉඩ හැර බලා සිටීම කළ නොහැකි වේ. අන්‍යන්ගේ අනන්‍යතාවයට ගරු කරමින්, අන්‍ය මතවාදය ඉවසමින්, බහුවිධ විශ්වාසයන්ට ගරු කරමින් ගෙවනා දිවිය මිහිමත පැවැත්ම කෙරෙහි බෙහෙවින් ධනාත්මකව බලපානු ලබයි. ඒ අතරම අන්‍යමත පාගා දමමින්, ඔවුන්ගේ අනන්‍යතාව පිළිනොගනිමින්, බහුවිධ විශ්වාසයන්ට අපහාස කොට ඒවා විනාශ කිරීමෙහිලා සංවිධානය වීමද මානවයාගේ මිහිමත පැවැත්ම සෘණාත්මකව තීරණය කරයි. 

ඔබට අවශ්‍ය මානව වර්ගයා තවදුරටත් මිහිතලය මත ජීවත් කරවීමද නැතහොත් මානව වංශයම මිහිමතින් තුරන් කිරීමට ද යන්න ඔබම තීරණය කරන්න ...!


මොහොමඩ් මිනාස් 

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය