මැලේ හා යෝනක බෙදුම



ඉස්ලාම් යනු ශාන්තියයි, ඉස්ලාම් යනු සමාදානයයි. සර්ව බලධාරී අල්ලාහ් විසින් ශුද්ධ වූ අල් කුර්ආනයෙහි ඉස්ලාමීය මාර්ගය යන්න "කෆ්ෆතුන් ලින්නාස්, හුදන් ලින්නාස්" යන සියලු ජන වර්ගයා සඳහා වූ යහමාර්ගය යන සිංහල අරුතින් සකල ලෝකවාසී ජනතාවටම එක හා සමානව අමතයි. මුහම්මද් නබි නායක තුමාණන්ගේ දර්ශනය අනුව එහි මුඛ්‍ය පරමාර්ථය පිවිතුරු ඉස්ලාමය තුල කලු සුදු, අරාබි හා අරාබි නොවන, වහල් හා නිදහස්, දුගී හා පෝසත් යනුවෙන් කිසිදු බෙදීමක් නොපවතින බවයි. "කලු ජාතිකයෙකුට වඩා සුදු ජාතිකයෙකුවත් සුදු ජාතිකයෙකුට වඩා කලු ජාතිකයෙකුවත් උසස් නොවේ" යනුවෙන් නායක මුහම්මද් නබි තුමාණන් පැවසූවේ එනිසාමය.



පුලුල් වපසරියක පැතිර ගිය වර්ග වාදයකින් ගිනිගෙන දැවෙමින් තිබුන අරාබි සමාජයක ඉස්ලාමයේ ඉහත කී ඉගැන්වීම යථාර්ථයක් බවට පෙරමින් නායක මුහම්මද් නබි තුමාණන් විසින් වහලෙකු වූ කලු ජාතික බිලාල් රලියල්ලාහු අන්හූ තුමාව ශුද්ධ වූ මක්කාවේ ක:බා දේවස්ථානයේ සලාතය කැඳවීම සඳහා යොමු කරවීම එවක සමාජයට හැරවුම් ලක්ෂයක් විය. වර්තමානයේ එය සුළුවෙන් තැකුවත් එවැනි වකවානුවක එය විශිෂ්ඨවත් වූ සමාජ පෙරලියක් විය. ඒ ආකාරයටම ඉස්ලාමයේ පණිවිඩය අරාබි ද්වීපයේ සිට අරාබියෙන් එපිට භූමියෙත් පැතිර ගියහ. එහිදී විවිධ ජනවර්ග, විවිධාකාර සංස්කෘති තුල ඉස්ලාමීය චින්තනය රෝපණය විය. එසේ රෝපිත ඉස්ලාමයේ පණිවිඩය ඉස්ලාමීය මූලික ඉගැන්වීම්ද රැක ගනිමින් එකී සංස්කෘතීන් තුලම ගලපා ගනිමින් ඉදිරියට ගෙන ගියහ. උදාහරණයක් වශයෙන් අරාබි කලාපයේ කාන්තාවන් පාරිසරික හේතුන් මත ගොඩනැගි සංස්කෘතිය තුල තද, ඝනකම් ඇඳුම් ඇඳි අතරම ඉන්දුනීසියාව වැනි කලාප වැනි සෞම්‍යයමය පරිසරයක් තුල කාන්තාව සිනිඳූ, වර්ණවත්, විචිත්‍රවත් ඇඳුම් ඇඳීය. එනමුදු ඔවුන් ඉස්ලාමයේ ඇඳුම පිළිබඳ වූ පිලිවෙත මගහැරියේ නැත. ශරීරයේ වැසිය යුතු යැයි පැවසූ අංග වසමින් ඔවුනට ආවේණික ඇඳුම් ඔවුන් භාවිත කළහ. මේ ආකාරයට ඉස්ලාමයේ ආගමනයත් සමග ඉස්ලාමය විවිධාකාර ජන වාර්ගිකයන් අතර දසත පැතිරී ගෝලීය ඉස්ලාමීය සමූහයක් නිර්මාණය විය. පසුකාලීනව එකී සමූහයේ මූලික ඉස්ලාමීය සංකල්පයට සියලු දෙනා එකඟතාවක් දැක්වමින් සිටියත් ජනවාර්ගිකත්වය මත ඇතැම්හූ බෙදීම් ඇති කර ගත්හ. (ආගමික මතය මතත් බෙදීම් ඇති කර ගෙන තිබුනත් එය වෙනම ලිපියකින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වේ) නමුත් දහම නිසියාකාරව හැදෑරූ ඇතැම් උගතුන් ආගමික වියතුන් මෙකී බෙදීම අනුමත නොකරයි. තවද දහම මැනවින් හැදෑරූ සැදැහැවත් මැලේ මෙන්ම යෝනක ප්‍රමුඛ උගත් මුස්ලිම්හූ ද මෙකී දහම පසෙකලා සිදුකරන්නා වූ ජන වර්ගය මත බෙදීමේ වියරුව හෙලා දකියි.



මේ ආකාරයටම ශ්‍රී ලංකාවේ යෝනක-මැලේ බෙදීම ලෙසින් මුස්ලිම් සමාජය ප්‍රසිද්ධ ලෙසින් ඉස්මතු නොවුනත් අලු යට ගිනි සේ මුස්ලිම් සමාජය තුල කුකුසක් විය. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ මිනිසා ස්වභාවයෙන්ම බෙදීම් වලට රුචිකත්වයක් දැක්වුවත් නිවැරදි ඉස්ලාමය තුල එකී බෙදීම් වලට ඉඩක් නොමැති බවයි. ඒ බෙදීම් තුලින් සමාජයට විපතක් මිස යහපතක් නොවන බැවිනි. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ යෝනක සමාජය විසින් මැලේ සමාජය පහතට දැමූ අවස්ථා ඉතිහාසයේ ඇතැම් ස්ථානවල දැක ගත හැකිය. ඒ සඳහා මැලේ වරුන්ගේ භාෂාමය, සංස්කෘතිකමය, (නූතනත්වයට අධිකව යොමු වීම), දහමින් බැහැරව කටයුතු කිරීම (ඇදහිල්ලේ මැලිකම්) ආදී හේතූ ඇති බව යෝනක පොදු සමාජය තුලින් පැවසේ.

නමුදු එකී හේතු සියයට සියයක් සත්‍යය නොවේ. මන්ද ලංකා ඉතිහාසය හදාරන ඕනෑම අයෙකුට මුස්ලිම්වරුන් ජාතික යහපතට සිදු කල දායකත්වයන් ගැන හැදෑරීමේදී යෝනක වරුන්ටත් වඩා මැලේ වරුන් සුවිශාල දායකත්වයක් දක්වා ඇති බව අවධාරණය වන බැවිනි. ආචාර්ය ටී. බී ජායා, විනිසුරු අක්බර්, කර්නල් මුතාලිෆ් යනු එයට හොඳම නිදසුන් වේ. ඒ අතරම ආගමික ක්ෂේත්‍රයටද මැලේ මුස්ලිම්වරුන්ගේ දායකත්වය ඉමහත්ය. නමුත් මැලේ වරුන්ගේ චෝදනාවනම් ඉතිහාසයේ ඔවුනට හිමි ස්ථානය යෝනක සමාජය විසින් ලබා දී නොමැති බවයි. ඉතිහාසය හාරා ඇවිස්සීමේදී එකී චෝදනාවේ සාධාරණත්වයක්ද පවතී. මැලේ වරුන් යනු තමාටම උරුම වූ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් සහිත ජන කොටසකි. ඒ ගැන විවාදයක් නැත. නමුත් තමන්ගේ ජන වාර්ගිකත්වය අන්‍යන්ට වඩා වෙනස් වුවත් අප සියලු පාර්ශ්වයන් එක් තැන් වන ඉස්ලාම් නම් ධජය යට අප සැම එක සමූහයකි. නමුත් මැලේ සමාජයේ ඇතැම්හූ සෑම ස්ථානයකම තම ජන වාර්ගිකත්වය මත බෙදී වෙන් වී කටයුතු කිරීම සාධනීය තත්ත්වයක් නොවේ.



මෙය මැලේ වරුන්ට පමණක් නොව යෝනක සමාජයටද අදාල වේ. මන්ද පෙර කී ලෙස ඉස්ලාමය යනු සාමය හා සමාදානය බැවින් එතුල එකමුතුකමකට විනා බෙදීමකට අභිප්‍රේරණයක් ඉන් නොකරන බැවිනි. යෝනක සමාජයද විවිධත්වයට ගරු කිරීමෙහිලා මෙයට වඩා කාරුණික විය යුතුය. යම් සමූහයක් කතා කරන භාෂාව, යම් සමූහයක ගති පැවැතුම් හා චාරිත්‍ර වාරිත්‍ර වල ඔවුන්ගේ අනන්‍යතාවය පිලිගත යුතුය. ඔවුනට ඉතිහාසයේ හිමි ස්ථානය ලබා දෙන අතර තුරම බෙදීමකදී හැර විවිධත්වය ඉස්මතු කිරීමෙහිලා ඔවුන්ගේ අනන්‍යතාවය සතුටින් පිලිගත යුතුය. විවිධත්වය විඳීමෙහිලා යනු සුන්දරත්වයෙන් පිරි හැඟීමකි. එයටත් වඩා මනුෂ්‍යත්වයට කරනා ගෞරවයකි. සාමය හා සමාදානය ගැන නිතර දෙසන දහමක් අදහන දෙපිරිසක් ජන වාර්ගිකත්වය මත වාද කර ගැනීම නියම මුස්ලිම් වරයෙකු නම් කිසි සේත් අනුමත නොකරයි. මන්ද අප ආදරණීය නායක මුහම්මද් නබි තුමාණන් පැතූ ලෝකය එය නොවන බැවිනි."කුල්ලු නෆ්සින් දාලිකතුල් මව්ත්" යන "සියලු ආත්මයන් මරණයේ පහස ලබයි" යන ශුද්ධ වූ අල් කුර්ආනයෙහි රන් වදන මතක් කරමින් මේ සටහන අවසන් කරනුයේ කෙතරම් මේ භූමිය තුල අප එකිනෙකා බේද භින්න වීම උදෙසා අරගල කරත් උපත ලැබූ අප සියලු දෙනා මතු යම් දිනෙක මේ පොලෝ තලයේ පස් බවට පත් වන බව මතක් කරමිනි. 

ස්ලාමත්..! වස්සලාම්..! 

සටහන

මොහොමඩ් මිනාස්

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය