අප සර්ව සම්පූර්ණ ද?



මිනිසා යනු නිතරම අන් අය සමග තමාව සසඳමින් ජීවත් වන පුද්ගලයෙකි. ඒ අතුරින් ඇතැම් උදවිය අන් අයගේ ජීවිතය දෙස බලමින් තම අඩුපාඩු සකසා ගනිමින් තම දිවිය අර්ථවත් කර ගනියි. ඒ අතරම ඇතැමෙක් අන් අයගේ ජීවිත වල ඇති අඩුපාඩු දෙස බලා තමා තුල ඒවා නැතැයි සිතමින් පුහු ආඩම්බරයක් ලබයි. නමුත් අද මේ පැවසීමට සැරසෙන කාරණය නම් ඊට වඩා වෙනස් කතාවක්. ඒ ඇත්තටම අප සර්ව සම්පූර්ණ ද යන්න පිළිබඳවයි.

උපතින්ම වූ ආබාධ හේතුකොට මිහිමත උපදින අපේම මිනිසුන් කොට්ඨාසයක් සමාජයේ ජීවත් වෙයි. අංගවිකල උදවිය, මන්ද බුද්ධියකින්, විකෘතිමය හා ලිංගිකත්වය මත විෂමතා ඇති මිනිසුන් ලෙස විවිධාකාරී නම් වලින් සමාජය ඔවුන්ව ආමන්ත්‍රණය කරයි. ඒ අතරම ඔවුන් අතරින් ඇතැම් ආබාධිතයන් තමන්ට ලැබී ඇති බුද්ධිය අනුව තමන් ආබාධිතයෙකු බව වටහා ගනියි. නමුත් අවාසනාවකට කොටසකට එම අවබෝධයද නොලැබුන ජීවිතයක් ලැබී ඇත. එම ආබාධිතත්වය මතම ඇතැමුන් මෙම කොට්ඨාසය සමාජයෙන් වෙන් කර කොණ් කරමින් කතා කරයි, ඔවුන් දෙස වපර ඇසින් ද බැලීමට පසුබට නොවේ. නමුත් එලෙස කතා කරන වාරයක් පාසා තමන් සර්ව සම්පූර්ණ යැයි ඔවුන් සිතන වාරද අනන්තය. නමුත් යථාර්ථය එයද? ඔබ ඔබේම හෘද සාක්ෂියට තට්ටු කරමින් ඒ පිළිබඳ ස්වං සංවාදයක යෙදෙන්න. ඔබ ලෝකයාට පෙනීමට තම ප්‍රතිරූපය කෙසේ ගොඩනගාගෙන තිබුනත් ඔබ තුල ඇති අඩුපාඩු පිළිබඳව නිවැරදිවම දන්නා පුද්ගලයා ඔබ නොවේද? ඒ නිසාම ඔබට ඔබ තුල ඇති අඩුපාඩු ඉතා සූක්ෂමව හඳුනා ගත හැකිය. නමුදු ඔබ ඔබේම බුද්ධිය උපයෝගී කරගනිමින් සමාජයෙන් ඒවා වසං කරයි. නමුත් ඉහත කී මන්දමය බුද්ධියක් උපතින්ම උරුම වූ අයට ඒ හැකියාව තිබේ ද? බුද්ධියක් හිමි ආබාධිතයෙකු වේ නම් ඔවුන්ගේ ආබාධය පෙරලා ඔවුන්ට නැවත නිවැරදි කළ හැකිද? සැබවින්ම එය ඔවුන්ගේ වරදකින් සිද වූ වරදක් ද? විදුලි උඳුනක් ආධාරයෙන් අප සැකසූ කේක් ගෙඩියක් පිලිස්සී තිබුනොත් නැවත එය උඳුන තුලට දමා අප පැතු අලංකාර කේක් ගෙඩිය අපට නැවත ලබා ගත හැකිද! ඒ ආකාරයෙන්ම උපතින්ම ආබාධිතයන් වූ ඔවුන්ව අපට සර්ව සම්පූර්ණ කළ හැකිද? මෙවැනි තත්ත්වයකින් දිවි ගෙවන මේ කොට්ඨාසයේ තම ස්වකීය දිවිය පිළිබඳ කිනම් හැඟීමක් පවතීද? 

මිහිමත උපත ලබන මිනිසකු කිසිවිටෙකත් සර්ව සම්පූර්ණ වන්නේ නැත යන කරුණ ඔබට දැන් මැනවින් වෙටහෙනු ඇති බව විශ්වාස කරමි. ඔවුන් ආබාධිතයන් විය හැකියි. නමුත් අපට උන් උදෙසා කළ හැක්කේ කුමක්ද? අඳුරු යුගයක පැවති සමාජයක් ආලෝකමත් යුගයකට පෙරලූ අප ආදරණීය නායක මුහම්මද් නබි තුමාණන් මුස්ලිම්වරුන්ගෙන් වාර්ශිකව එකතු කරන "සකාත්" නම් පුන්‍යාධාර  ලැබීමට සුදුසුකම්ලත් කණ්ඩායම් අට තුලට ආබාධිතයන් ද ඇතුලත්ව ඇත. එමගින් ඔවුන්ව ජීවත් කරවීමේ වගකීම එතුමන් සමාජය වෙත පවරා ඇත. ඒ අතරම සර්ව බලධාරී අල්ලාහ් විසින් ශුද්ධවූ අල් කුර්ආනයෙහි අනාථයන්ගේ දේපල අනිසි ලෙස භාවිත කරන්නනට අවවාද කර ඇත. එතුලින් ද පවසන්නේ ඔවුන් කෙරෙහි අප මත වැටී ඇති වගකීමයි. නමුත් ආබාධිත අයෙකු සමාජයට පැමිණි විට ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නා ඕනෑ තරම් උදවිය අප සමාජයේ ඕනෑ තරම් දැක ඇත. ඇතැම්හූ ඔවුන්ව මත් ද්‍රව්‍ය වෙළදාමට යොදා ගන්නා අතරම ඇතැමුන් ඔවුන්ව ලිංගිකව අපයෝජනයන්ටද ලක් කරයි. තවද විනෝදයක් සේ සලකමින් ඔවුනට හිරිහැර කරමින් ශාරීරික වධබන්ධනයට ලක් කරයි. ඒ අතරම ඔවුන්ගේ ශ්‍රමය මිලදී ගන්නා උදවිය එම ශ්‍රමයට සරිලන කුලියක් ඔවුනට ලබා නොදීමට තරම් අකාරුණික වේ. අප ආදරණීය නායක මුහම්මද් නබි තුමාණන් පැවසූවේ සේවය කළ කම්කරුවාගේ දහදිය වියලියාමටත් පෙර ඔහුට නියමිත වූ කුලිය ගෙවා දමන ලෙසයි. නමුත් නූතන සමාජයේ සිදුවන සිදුවීම් දකින විට අපට වැටහෙන්නේ එම ඉගැන්වීම් අද කොතනද ලෙසයි. ශ්‍රමය සූරා කෑමේ අසාධාරණයට විරුද්ධව  හඬ නැගීමට ශක්තියක් පවා නැති ඔවුන්ගේ අසරණකම නිසාම අද ඔවුන් එතැන නිහඬව සිටී. සියල්ලෙන්ම සර්ව සම්පූර්ණ යැයි පවසාගන්නා ඇතැම්හු ඔවුන්ගේ එම නිහැඬියාවම අවස්ථාවත් බවට පෙරලා ගනී.  සිල්ලක්ම සියැසින් දකිමින් සර්ව සම්පූර්ණ  යැයි උදම් අනන අපද ඒවා නොදැක්කා සේ ගමන් කරයි. මානසික වියවුල් ඇති අයෙකුට මනසින් උසස් යැයි කියා ගන්නා මිනිසුන් කරන එවැනි සාහසික ක්‍රියා  මනුසත්කමට  ගෙන දෙන්නේ කෙතරම් නිගාවක් ද? මෙවැනි අපරාධයන්ට අප අනුබල දෙන්නේ නම් සිරුරෙන් අප කෙතරම් සර්ව සම්පූර්ණ මුත් මනසින් අප කෙතරම් සර්ව සම්පූර්ණ ද යන්න ඔබම තීරණය කරන්න. 


සටහන

මොහොමඩ් මිනාස්

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය