විවිධත්වය ඉස්ලාමීය ඇසින්


ලොව එක සමාන වූ ගල් කැට දෙකක් හෝ නොමැත. ශ්‍රේෂ්ඨ දාර්ශනික කියමක් යථාර්තයකට පෙරලමින් විද්‍යාවද සනාථ කරනුයේ ඇඟිලි තුඩුවල ඇති සලකුණු වල සිට සීබ්‍රාගේ සමෙහි ඇඳී ඇති රටා තුල පවා එකිනෙකට එකක් වෙනස් වු විවිධත්වයක් පවතින බවයි. අප සමාජය ගත් කලද එම විවිධත්වය එලෙසමයි. අප හිතන පතන ආකාරය හා අප ගති ගුණාංග එකිනෙකට වෙනස් වේ. අප ජීවත්වන ප්‍රදේශය අනුව ද අපටම උරුම වූ අන් අයගෙන් වෙනස් වූ ඇතැම් සිරිත් විරිත් ඕනෑ තරම් අපට දැක ගත හැක. ඒ අනුව අපට පෙනී යන්නේ විවිධත්වය යනු මේ විශ්වයේ සතර දික්භාගයටම පොදු වූ එක් ලක්ෂණයක් බවයි.

විවිධත්වය යන ලාක්ෂණය සියල්ලෙහිම අන්තර්ගත වී තිබුනද මානවයාගේ සිත සෑම විටම බලාපොරොත්තු වනුයේ තමන් කැමති දෙයට අන් අයද කැමති විය යුතුයි යන්නටයි. එය මනසේ ස්වභාවයයි. නමුත් මොහොතක් ගෙන අප මේ සියල්ලක්ම අප පතන අයුරින් එකම ආකාරයකට පත් කළ හැකිදැයි කල්පනා කලහොත් එය සිදු කිරීමට මහත් වෙහෙසක් ගත යුතු යැයි හැඟෙනු ඇත. මන්ද එකිනෙකා තම ස්වභාවය සමග බැඳී සිටිනුයේ ඉතා තද බන්ධනයකිනි. එම බන්ධනය බිඳීමට වෙර දැරීම ඇතැම් විටෙක සාර්ථක වූ අවස්ථා ඉතිහාසයේ ගෙන බැලුවහොත් ඉන් පසු එයට අත් වූ බිහිසුණු ඉරණම් කතා අප මිහිතලයේ ඕනෑ තරම් දක්නට තිබේ. ඒ අනුව අපට වැටහෙනුයේ ස්ව ආශාවට අනුව සියල්ලම වෙනස් විය යුතු යැයි සිතීම සිතෙහි ස්වභාවය වුවත් අප පතන අයුරින් ඕනෑම දෙයක උප්පත්ති ස්වරූපය අපට වෙනස් කළ නොහැකි බවයි.



එසේ නම් මේ විවිධාකාරී සමජය තුල තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අප කුමක් කළ යුතුද? ඊලඟට ඔබට සිත ඔබෙන්ම එලෙස අසයි. ඔබ ඊට දිය යුතු පිළිතුර කුමක්ද? මිනිස් සංහතියේ නිර්මාපකයා වූ සර්ව බලධාරී අල්ලාහ් විසින් තම මැවීමේ විවිධත්වයන් පිළිබඳව ශුද්ධවූ අල් කුර්ආනයෙහි මෙසේ පවසයි. " ඔබ එකිනෙකා හඳුනා ගැනීම පිණිස ඔබව මවා අප ම විවිධ ගොත්‍ර වශයෙන් ඔබව ලොව පුරා විසුරුවා හැරියෙමු." එක සමාන වු සුදු ඇඳුමින් සැරසුන සිය දෙනෙකු එක පෙලකට සිටීම හා සුදු හා කලු මිශ්‍රිත ඇඳුමකින් සැරසී එක පෙලකට සිටින සිය දෙනෙකු ඔබ උපකල්පනය කර බලන්න. විචිත්‍රවත්ව පවතින්නේ කොතැනද? ඒ අයුරින්ම නේක විධ වර්ණයෙන් යුත් ඇඳුමින් සැරසුණු සිය දෙනෙකුගේ සැදි පෙලක් ඔබ උපකල්පනය කර බලන්න. සුන්දරත්වය, ස්වභාවිකත්වය රැඳෙනුයේ කුමන පෙලෙහිද? එය නිතැතින්ම වර්ණවත් ඇඳුමින් සැරසුණු පෙළම වනවා නොඅනුමානයි.



මේ අයුරින්ම අප විවිධත්වයේ විචිත්‍රවත් කෝණයෙන් මානව සමූහය දෙස බලන දිනයේදි මේ මිහිතලය කෙතරම් මානුෂීය වේද? මානවහිතවාදී  මුහම්මද් නබි තුමාගේ එක් කියමනක මෙසේ සඳහන් වේ. "එක් අරාබි වරයෙකු අරාබි නොවන අයේකුට වඩාත්, අරාබි නොවන්නෙකු අරාබි වරයෙකුට වඩාත් උසස් නොවේ. තවද එක් සුදු ජාතිකයෙකු කලු ජාතිකයෙකුට වඩාත් එක් කලු ජාතිකයෙකු තවත් එක් සුදු ජාතිකයෙකුට වඩාත් උසස් නොවේ." සමානාත්මතාවය එතුමාගේ රුවන් වැකි වල කෙතරම් දුරට අන්තරගතව පවතීද? ඒ නිසාම එතුමන්ගේ දර්ශනය වටා වහලුන්, එවක සමාජයේ පහත් යැයි සම්මතව සිටි සමූහයන්, දැනුම් තේරුම් ඇති උගතුන්, සැදැහැවතුන් හා සාමාන්‍ය ජනයා එක් රොක් විය. එතුමන්ගේ රාජ්‍යයේ ගෝත්‍රිකයන්, වහලුන්, යුදෙව්වන් ආදී සියලු සුලු ජන කොටස් එකතු කොටගෙන සෑදූ මදීනා ඉස්ලාමීය ජනරජය එවක රජ කළ මක්කා ගෝත්‍රික ඒකාධිපතිත්වයට අභියෝගයක් වූ අයුරු දෙස බලන්න. එලෙසින් ඒකදේවවාදයේ හා මනුශ්‍යවයේ නාමයෙන් එදා එක්වූ ජන සමාජය සියලු ජන කොටස් වල අයිතිය හා අනන්‍යතාවයට ගරු කිරීම නූතනයේ බලවත් හා උසස් යැයි කියා ගන්නා රටවල වර්ගවාදී ගැටුම් වලට දෙන පණිවුඩය කුමක්ද? ඒ වෙන කිසිවක් නොවේ ඒ "විවිධත්වය අපගේ එකම ශක්තිය" බවයි. මේ යථාර්ථය තේරුම් ගැනීමට නොහැකි වන සමූහය විවිධත්වයට අදාළ සොබාදහමේ නීතියට යටත් වන තුරුම කුළල් කා ගනිමින් තමාම විනාශ මුඛයට ඇද දමමින් ජීවත් වේ. විවිධත්වයේ අගය අවබෝධ කර ගන්නා දිනයේ උන් පැතූ සාමකාමී ලොව ඔවුන්ව යහමින් ජීවත් කරවයි. අවසානයේදීත් පැවසීමට ඇත්තේ "ආදම්ගෙන් අප පැවතුනි නම්.. හව්වා අප සැමගේ මව නම්.. ඉපදුණු අප සැම මිය යයි නම්.. කුමකටදෝ මේ නොමිනිස්කම්.. " යන්නයි



මොහොමඩ් මිනාස්

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය