රුක් රෝපණයේ වැදගත්කම ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන්


ඉස්ලාමීය චින්තනය අනුව මිනිසා යනු පරිසරයේ භාරකරුවකු ද වේ. ඉබාදත්, ඉමාරත් හා කිලාෆත් නම් මුස්ලිම්වරයාගේ මූලික වගකීම් අතුරින් ඉමාරත් නම් වගකීම ඉහත කී භාරකාර වගකීම පිළිබඳ සඳහන් කිරීමකි. ඉමාරත් යන අරාබි යෙදුම 'සශ්‍රීක කිරීම' යන සිංහල අරුත ගෙන දෙයි. ඒ අතරම රුක් ගොමු වල රමණීයත්වය ගැන සඳහන් කිරීමේදී මුස්ලිම්වරුන්ගේ උතුම් ග්‍රන්ථය වන ශුද්ධ වූ අල් කුර්ආනයෙහි ස්වර්ගයේ ඇති සශ්‍රීක උද්‍යාන සහ ගස් වර්ග පිළිබඳව මනරම් අයුරින් වර්ණනා කරමින් ඡේද රාශියක් සඳහන්ව ඇත, තවද මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම් වල රුක් රෝපණයේ වටිනාකම මෙලොවදී පමණක් නොව පරලොවදී ද මහත් ආනිසංස ගෙන දෙන බව ඉස්මතු කරයි. ඒ අනුව ඉස්ලාම් දහම ජීවිතයේ සියලූම ක්ෂේත්‍රයන් උදෙසා කර ඇති අනුසාසනාවන් අතර රුක් රෝපණයේ වැදගත්කම ද විස්තර කර ඇත. මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ පහත ප්‍රකාශ රුක් රෝපණය පිළිබඳව මැනවින් විස්තර කරයි.



1. රුක් රෝපණය පුණ්‍ය කටයුත්තක් (සදකාවක්) ලෙස සලකනු ලැබන අතරම රෝපණය කළ එම ගසෙන් ප්‍රතිලාභ ලබන්නන් සියලු දෙනාගේ ආශිර්වාදය රෝපණය කරන්නා වෙත ලඟා වේ. 

අල්ලාහ්ගේ දූතයාණන් වන මුහම්මද් (ﷺ) තුමන් මෙසේ පවසයි. “මුස්ලිම්වරුන් අතරින් ගසක් සිටුවීමෙන් හෝ බීජ වැපිරීමෙන් පසු කුරුල්ලෙකු හෝ පුද්ගලයෙකු හෝ සතෙකු එයින් අනුභව කරයි නම් එමගින් දානයේ ආනිසංසය ඔහු ලඟා කර ගනී. ”


එසේනම් අප රෝපණය කරන ලද ගසකින් අපට නොදැනුවත්වම නිශ්පාදනය වන ඔක්සිජන් අණු දස දහස් ගණනක් මිහිමත වෙසෙන ජීවීන් ආශ්වාස කරන විට මොහොතක් පාසා කෙතරම් වූ දානයේ කුසලයන් අප ලඟා කර ගනීද..! මරණින් මතු අප ආත්මයේ සුගතිය කරාද එමගින් මහත් වූ කුසලයන් එක් කරයි. 

2. දේශනාවන් වලදී විශ්වාසවන්ත මුස්ලිම්වරුන්ව හැඳින්වීම සඳහා එතුමන් ගස් රූපකයක් සේ භාවිතා කළ අවස්ථා ඇත. 

මුහම්මද් නබි (ﷺ) තුමාණන් විටෙක විශ්වාසවන්ත මුස්ලිම්වරයා සශ්‍රීක ගසකට සමාන කරයි.

විශ්වාසනීය මුස්ලිම්වරයා ගසකට සමාන කිරීමම ගස් වැල් වලට දැක්විය යුතු ගරුත්වය හා ඒවාහි ඇති පවිත්‍රත්වය මැනවින් විදහා දක්වයි. 

3. නබි මුහම්මද් තුමාට ගස් හා සබැඳි ගැඹුරු අධ්‍යාත්මික සබඳතාවන් ද තිබුණි.

මුහම්මද් නබිතුමාගේ අවදියේ විශේෂ අවස්ථාවන් දෙකකදී සොහොන් මත ඔලිව් ගස් වල අතු සිටුවා ඇති බව ඉතිහාසයේ සඳහන්ය. එහිදී එතුමන් ප්‍රාර්ථනා කර ඇත්තේ 'එම අතු ජීවමානව පවතිනතාක් එම සොහොන් වල මිහිදන් ආත්මයන් වල පාපයන්ට සමාව ලැබෙත්වා' යනුවෙනි. 

යුධමය අවස්ථාවලදී සතුරන්ගේ පෙදෙස් වල වූ ගස් වැල් ප්‍රයෝජනයකට හැර නිකරුණේ කපා විනාශ කිරීම එතුමා තම සගයින්ට තහනම් කලහ. 

තවද දිනක් එතුමා හමුවීමට රෝමානු අධිරාජ්‍යයේ නියෝජිතයෙකු පැමිණි අවස්ථාවේ එතුමාණන් ගසක් යට සෙවනේ නිදා සිටි අයුරු දැක මදීනා ඉස්ලාමීය රාජ්‍යයේ ආධ්‍යාත්මීය මෙන්ම අසහාය නායකයා මෙලෙස සරල දිවියක් ගත කරන්නේ දැයි දැක එම නියෝජිතයා විශ්මයට පත් විය. කෙතරම් සැප පහසු දිවියක් ගත කල හැකිව තිබුනත් එතුමා සරල දිවි පෙවෙතක්ම ගත කිරීමට කටයුතු කළ බව ඉන් වැටහේ. 

4. මරණින් මතු දිවියේ ස්වභාවය ගැන සඳහන් කිරීමේදි ගස් ගැන විවිධ සන්දර්භයන් ඇසුරින් සඳහන් කර ඇත. 

එලෙස පැවසෙන්නේ මුස්ලිම්වරයාගේ දික්ර් නම් දෛනිකව අල්ලාහ්ව සිහි කරමින් අපට ලබා දී ඇති දේ වෙනුවෙන් අල්ලාහ්ට ප්‍රශංසා කිරීමේදී එයට ආනිසංශයක් ලෙස ඔහු වෙනුවෙන් ස්වර්ගයේ එක් ඉඳි ගසක් පැල වෙන බවයි. මෙය මුස්ලිම්වරයාව තම හිමියන්ගෙන් ලද දායාදයන් වෙනුවෙන් ස්තූති කිරීම අභිප්‍රේරණය කරයි. 

තවද දෙවියන් අනුමත නොකල ක්‍රියාවන් කිරීම හේතුවෙන් නිරයට ඇතුල් වන අපා වාසියා ශාප ලත් ගස නම් සක්කූම් ගසින් පීඩා වන බවත් පැවසේ.( සක්කූම් යනු නිරයේ පතුලේ වැඩෙන කටුක ගසක් බව හදීසයේ සඳහන් වේ) මෙය මිනිසා පාපි ක්‍රියාවන්ගෙන් ඈත් කිරීමේ කාර්යය අභිප්‍රේරණය කරයි. 

5. රුක් ගොමු වලට අප ගෞරවයෙන් සාත්තු කළ යුතු අතර අනවශ්‍ය ලෙස හානි නොකළ යුතුය.

සහාබි වරයෙකු මෙසේ පවසයි. “මම අන්සාර්වරුන් කිහිපදෙනෙකුට අයත් ඉඳි ගසකට ගල් ගසමින් සිටියෙමි. පසුව ඔවුන් මා මුහම්මද් නබි (ﷺ) තුමාණන් වෙතට රැගෙන ගියහ. එවිට “ ඕ රාෆි! ඔබ ඔවුන්ගේ ඉඳි ගස් මත ගල් විසි කළේ මන්ද ? ” නබිතුමාණන් ඇසීය. “අල්ලාහ්ගේ දූතයාණෙනි, ඒ කුසගින්න නිසාවෙනි "! මා පැවසීය. එයට ඔහු මෙසේ උපදෙස් දුනි." ගස් මත ගල් ගසනු එපා. ඒ වෙනුවට බිම වැටෙන ඉඳි අනුභව කරනු. අල්ලාහ් ඔබව පෝශනය කර ඔබේ පිපාසයද සංසිඳුවයි. ”



මේ ආකාරයෙන් අපට අවබෝධ කර ගත යුත්තේ ගස් සිටුවීම හා නඩත්තු කිරීම අප දෛනික ඇදහිල්ලේම ක්‍රියාවක් බවයි. එය සොබාදහම හා මිනිසා අනුගත වී මේ මිහිතලය රැකීමට දිරි දෙයි. තවද ඉමාරත් නම් වගකීම හරියාකාරවම ඉටු කිරීමට මග පාදයි.




- මිනාස් -
ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය. 
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය.

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය